ග්‍රීන්ලන්ත අගමැති අමෙරිකාව ගැන කියූ දේ...

අමෙරිකාව සමග එක්ව කටයුතු කිරීමට සූදානම් - ග්‍රීන්ලන්ත අගමැති

by Hashini De Mel 14-01-2025 | 9:08 AM

COLOMBO ( News 1st ) - අමෙරිකාව සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍ය මියූ ඇගීඩ් පවසයි.

ඩෙන්මාකයේ කෝපන්හේගන් අගනුවරදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය සමග සාකච්ඡා ආරම්භ කිරීමට සිය ආන්ඩුව සූදානම් බවයි.

තවත් නොබෝ දිනකින් අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්ත දූපත මිලදී ගන්නා බවට මීට පෙර ප්‍රකාශ කළේ ය.

නමුත් ග්‍රීන්ලන්තයෙන් සහ ඩෙන්මාකයෙන් මුලින් ඊට එල්ල වූයේ දැඩි විරෝධයකි.

ග්‍රීන්ලන්තය පාර්ලිමේන්තුවක් හරහා පාලනය වුවද එය ඩෙන්මාර්ක රාජධානියේ කොටසක් ලෙස සැලකේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ ඩෙන්මාර්කයට එරෙහිව මිලිටරි සහ ආර්ථික ක්‍රියාමාර්ග භාවිතා කොට හෝ ග්‍රීන්ලන්තය අමෙරිකාවේ කොටසක් බවට පත් කරගන්නා බවයි.

ට්‍රම්ප් ගේ එම අනතුරු ඇඟවීම් හමුවේ ග්‍රීන්ලන්ත සහ ඩෙන්මාක රාජ්‍ය නායකයින් කෝපන්හේගන් අගනුවරදී විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇත.

ඉන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍යවරයා පැවසුවේ අමෙරිකාවේ නීත්‍යානුකූල අවශ්‍යතා සලකා බැලීමට තමන් සුදානම් බවයි.

උතුරු අමෙරිකාවේ සිට යුරෝපය දක්වා කෙටිම මාර්ගයේ පිහිටා ඇති ග්‍රීන්ලන්තය අමෙරිකාවට උපායමාර්ගිකව වැදගත් ස්ථානයක පිහිටා තිබේ.

බැටරි සහ අධි තාක්‍ෂණික උපාංග නිෂ්පාදනය කිරීමේදී අත්‍යවශ්‍ය වන දුර්ලභ ඛනිජ තැන්පතුවක්ද ග්‍රීන්ලන්තය සතුයි.