.webp)
COLOMBO (News 1st) - පිලිපීනයේ හිටපු ජනපති රොඩ්රිගෝ දුතෙර්තේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ඔහු අද (11) පෙරවරුවේ හොංකොං සිට පිලිපීනයේ මැනිලා ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදීයි.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය, ජාත්‍යන්තර පොලීසියට නිකුත් කළ වරෙන්තුවක් මත හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.
මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එල්ල වූ චෝදනා මත අදාළ වරෙන්තුව නිකුත් කර තිබුණි.
රොඩ්රිගෝ දුතෙර්තේ 2016 වසරේ සිට 2022 වසර දක්වා පිලිපීන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ ය.
ඔහුගේ පාලන සමය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රවය භාවිතා කරන්නන් සොයා මෙහෙයුමක් දියත් කෙරුණි.
අදාළ මෙහෙයුම හරහා කිසිදු ක්‍රියා පටිපාටියකින් තොරව පුද්ගලයින් දහස් ගණනක් ඝාතනය කළ බවට හිටපු ජනපතිවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.
ගාඩියන් පුවත්පත වාර්තා කළේ, අදාළ මෙහෙයුම අතරතුර ජනාධිපතිවරයාගේ නියෝග මත පුද්ගලයින් 30,000කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති බවයි.