කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳ වැඩමුළුවක්

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම කිරීමට කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳ වැඩමුළුවක්

by Staff writer 15-06-2025 | 4:25 PM

COLOMBO (News 1st)-රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක් අද (15) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

‘AI For Transforming Public Service’ යන මැයෙන් පැවැත්වුණු මෙම වැඩමුළුවට ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින් එක්ව සීටි අතර, රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස නිලධාරීන් දැනුවත් කිරීම හා සුදානම් කිරීමත්, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීමත් මෙහි අරමුණු විය.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා මෙහිදී ආරම්භක දේශනය සිදු කළ අතර, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA)  විධායක අධ්‍යක්ෂ සංජය කරුණාසේන මහතාද කෙටි දේශනයක් සිදු කළේය.

අනතුරුව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA)  අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන හර්ෂ පුරසිංහ සහ සමිස අබේසිංහ යන මහත්වරු ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද සහිතව දැනුවත් කිරීම් සිදු කළහ.

මේ අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.