ඝාතනය වූ වසීම් තජුඩීන් ගැන අනාවරණයක්

ඝාතනය වූ වසීම් තජුඩීන් ගැන අනාවරණයක්

by Staff writer 02-10-2025 | 6:43 PM

News1st (Colombo) - 2012 වසරේ සිදුවූ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනයට අදාළව මේ වනවිට කරුණු ගනනාවක් අනාවරණය වෙමින් පවතියි.

ඒ, ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන දැනට රැදවුම් නියෝග මත සිටින කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන්, තැඹිලි ලහිරු, කමාන්ඩෝ සලින්ත සහ පානදුර නිලංග නමැති පුද්ගලයින් පිළිබඳ කෙරෙන විමර්ශන වලදීයි.

බැකෝ සමන් ඇතුලු පිරිස අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව ඇතැයි අනාවරණය වීමෙන් පසුව කල විමර්ශනවලදී අයිස් මත්ද්‍රව්‍ය මිශ්‍රකර මිද්දෙනියේ වලදමා තිබූ සුදු පැහැති කැට හා මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනුණි.

කන්ටේනර් දෙකක තොගයක් එලෙස වලදමා තිබුනේ පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනයට සම්බන්ධව සිටි පියල් සහ සම්පත් මනම්පේරි නමැති පුද්ගලයින්ට අයත් ඉඩමකයි.

පියල් සහ සම්පත් මනම්පේරි සහෝදරයින් මේ වනවිට අත්අඩංගුවේ පසුවන අතර ඔවුන් හෙලිකරන කරුණු මත ද විමර්ශන ක්‍රියාත්මක වෙමින් තිබේ.

මෙම කණ්ඩායම සමග කලක් සමීපව කටයුතු කර තිබූ අරුණ විදානගමගේ හෙවත් මීගස්ආරේ කජ්ජා පසුව ඔවුන්ගෙන් වෙන්වී විවිධ අපරාධ පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශ පවා සිදුකල අතර ඔහු පසුගිය පෙබරවාරි 18 වනදා ඝාතනයට ලක්විය.

මීගස්ආරේ කජ්ජා ඝාතනයට ගිනි අවිය තමන් විසින් ලබාදුන් බව සම්පත් මනම්පේරි මේ වනවිට අනාවරණට කර තිබේ.

මේ අතර,, පොලිසිය පෙරේදා අනාවරණය කලේ ඝාතනයට ලක්වූ මීගස්ආරේ කජ්ජාගේ බිරිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කල අනාවරණයකින් රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ ඝාතනය පිළිබඳව නව හෝඩුවාවක් අනාවරණය වූ බවයි.

තජුඩීන් ඝාතනයට ලක්වූ දින ඔහු පසුපස හඹාආ පිරිසක් අතර මීගස්ආරේ කජ්ජාද සිටින බව සීසීටීවී දර්ශනවලින් ඇය හඳුනාගෙන තිබුණි.

2012 වසරේ මැයි 17 වැනිදා වසීම් තජුඩීන් ඝාතනයට ලක්වූ අතර එම අපරාධයේ සාක්ෂි වසන් කිරීම් ඇතුළු සිදුවීම් ගනනාවක් ගතවූ කාලසීමාව තුළ වාර්තා විය.

2018 සැප්තැම්බර් 20 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාකල කරුණු අනුව අනාවරණය වූයේ සිරිලිය සවිය පදනමේ WP KA 0642 දරණ ඩිෆෙන්ඩර් රථයක් වසීම් තාජුඩීන් පැහැරගැනීමට භාවිතකර ඇති බවයි.