තංගල්ල මත්ද්‍රව්‍ය සම්බන්ධ තවත් සැකකරුවෙක්..

තංගල්ලෙන් සොයාගත් මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ආ බව කියන යාත්‍රාවක් සමඟ සැකකරුවෙකු ආරක්ෂක අංශ භාරයට..

by Staff writer 02-10-2025 | 8:51 AM

COLOMBO (News 1st) -  තංගල්ල සීනිමෝදර හා ගොඩවැල්ලෙන් සොයා ගත් මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ආ බව කියන යාත්‍රාවක් සමඟ සැකකරුවෙකු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

ඒ , නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දෙවුන්දර මුහුදේ කල ඒකාබද්ධ මෙහෙයුමකදී ය.

රුපියල් බිලියන 10ක් පමණ වටිනා හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 705 යි ග්‍රෑම් 170 ක් පසුගිය 22 වැනිදා තංගල්ල සීනිමෝදර හා ගොඩවැල්ලෙන් සොයා ගන්නා ලදි.

ඒ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 284 යි ග්‍රෑම් 410 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 420 යි ග්‍රෑම් 760 ක් ඇතුළත්.

මෙම මත්ද්‍රව්‍ය සොයා ගනු ලැබුවේ තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් සිටියදී සොයා ගැනීමත් සමඟයි.

ඔවුන් සමග සිටි බව කියන තවත් අයෙකු රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් තිබුණි.

පොලිසිය කල විමර්ශනවලට අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය දැනට ඩුබායි රාජ්‍යයේ සිටින බව කියන උනාකූරුවේ ශාන්ත නමැති සංවිධානාත්මක අපරාධකරුට අයත් බවට සැක කරයි.

ඉරානය හෝ ඇෆ්ගනිස්ථානයේ සිට මුහුදෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය දකුණු වෙරළට ගෙනැවිත් එතැන් සිට බෙදා හැරීම සිදුවන බව විමර්ශන කණ්ඩායම්වල අදහසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි.