අයවැයෙන් අඩු ආදායම්ලාභී තැලිසිමීයා රෝගීන්ට වෛද්‍ය නිර්දේශ මත රු.10000ක්.

by Staff writer 07-11-2025 | 4:03 PM

COLOMBO (News 1st) - 2026 අයවැය තුළින් අඩු ආදායම්ලාභී තැලිසිමීයා රෝගීන්ට වෛද්‍ය නිර්දේශ මත රු.10000ක් සහ පුද්ගලයින් 5000ත් 10,000 ආවරණය වන පරිදි රට පුරා අරෝග්‍යා මධ්‍යස්ථාන. ප්‍රාථමික සෞඛ්‍ය සහ යහපැවැත්ම ඉලක්ක කරගත් සේවාවන් සඳහා ජනතාවට ඇති ප්‍රවේශ වැඩි කිරීමේ අරමුණ ඇතිව පුද්ගලයින් 5,000 - 10,000 අතර ප්‍රමාණයක් ආවරණය වන පරිදි “ආරෝග්‍යා” මධ්‍යස්ථාන ඇති කිරීමට යෝජනා කෙරේ. 2026 වසරේ දී දැනට විවිධ සෞඛ්‍ය සේවාවන් ලබාදෙන අවශ්‍ය යටිතල පහසුකම් ඇති මාතෘ
සහ ළමා සායන, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වැනි ස්ථාන ආශ්‍රිතව මෙම සංකල්පය නියමුව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 1,500 ක්
වෙන් කිරීමට යෝජනා කරන ලදි. එහි ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් මුළු ලංකාව පුරාම මෙම වැඩසටහන පළාත් සභා හා ඒකාබද්ධව ඉදිරි වසර 03 තුල ක්‍රියාත්මක කරනු ඇත. මූලික රෝහල් (Base Hospitals) 82ක් මඟින් ද්විතීයීක සෞඛ්‍ය සේවාවන් සපයනු ලබනවා. මෙම රෝහල් බහුතරයක පහසුකම් මැතකාලීනව සංවධනය කර නොමැත.
මෙම රෝහල් සංර්වධනය කරමින් ද්විතීයීක සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකහාවය ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 31,000 ක පස් අවුරුදු වැඩපිළිවෙලක පළමු වසරේ
වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබේ. ශ්‍රී ලංකාවේ හෘද ආශ්‍රිත රෝග (Cardiovascular diseases) සැලකිය යුතු මට්ටමක පවතින අතර සමස්ථ මරණවලින් සියයට 40 කට ආසන්න ප්‍රමාණයකට මෙය හේතු වේ. එමෙන්ම එය අඛණ්ඩව ර්වධනය වෙමින් පවතී. කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය, ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම දියුණු හෘද රෝග සත්කාරමධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වුවත් සීමිත ඉඩකඩ සහ සීමිත පහසුකම් හේතුවෙන් වැඩිවන රෝගීන් සංඛ්‍යාවට පහසුකම් සැලසීමට අපොහොසත් වී තිබේ. මේ හේතුවෙන් දීර්ඝ කාලයක් පොරොත්තු ලේඛනවල සිටීමට හෝ විශාල මුදලක් වැයකර පෞද්ගලික අංශයෙන් සේවාව ලබා ගැනීමට සිදුවී තිබේ.  මෙම ගැටළුවලට පිළියමක් ලෙස රුපියල් මිලියන 12,000 ක පිරිවැයක් දරමින් වැඩි ඉඩ පහසුකම් සහ නවීන උපාංගයන්ගෙන් සමන්විත මහල් 16 කින් යුතු ජාතික හෘද ඒකකය පිහිටුවීමට අවශ්‍ය මූලික වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 200 ක් වෙන් කර ඇත.

තැලසීමියා රෝගීන්ගෙන් විශාල ප්‍රතිශතයක් කායික සංකූලතා සමූහයකින් හා උග්‍ර රක්තහීනතා තත්ත්වයන්ගෙන් පීඩා විඳිනවා. වැඩි රෝගීන් ප්‍රතිශතයකට සිය ජීවිත
කාලය පුරාම රුධිර පාරවිලයනය සිදු කිරීමට හෝ දිනපතා අතිරික්ත යකඩ ඉවත් කිරීමේ ප්‍රතිකාර ඇතුළු තවත් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.  ඒ හේතුවෙන් මේ
රෝගීන් පමණක් නොව ඔවුන්ගේ පවුල්වලට ද ප්‍රබල මානසික, සමාජීය හා ආථික ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබෙනවා. මේ තත්ත්වය මත පළාත් සභා විසින් අඩු
අදායම්ලාභී තැලසීමියා රෝගීන් සඳහා දැනට දෙනු ලබන රුපියල් 500 සිට රුපියල් 5000 දක්වා විවිධ ප්‍රමාණවලින් දීමනාවක් ගෙවීම් කරනු ලබයි. අඩු ආදායම්ලාභී
තැලසීමියා රෝගීන්ට පළාත් සභා විසින් ගෙවනු ලබන මුදල වෙනුවට වෛද්‍ය නිදේශ මත රුපියල් 10,000 ක් බැගින් මාසික දීමනාවක් ලබා දීම සඳහා රුපියල් මිලියන 250
ක් වෙන් කිරීමට යෝජනා කෙරේ.