රජයේ වෛද්‍ය නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද උදෑසන සිට..

by Staff writer 17-11-2025 | 7:22 AM

COLOMBO (News 1st) අද පෙරවරු 8සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ 2026 අයවැය මගින් සෞඛ්‍ය සේවය හා වෛද්‍යවරුන් නොසලකා හැරිමට විරෝධය පළකරමින් මෙම තීරණයට එළැඹි බවය.

මෙම ක්‍රියාමාර්ගයට සමගාමීව රෝහල් තුළ නොමැති ඖෂධ හා උපකරණ රෝගීන්ට බාහිරින් ලබාගැනීම සඳහා අද සිට තුණ්ඩු නිකුත් නොකරන බව ඔහු පවසන ලදි.

රෝහල් තුළ නොමැති රසායනාගාර පරීක්ෂණද බාහිරින් සිදුකර ගැනීමට අවශ්‍ය නිර්දේශ නිකුත් නොකරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

සෞඛ්‍ය පද්ධතියේ අර්බුදයට විසදුම් ලබා දීම අයවැයේදී නොසලකා හැරීම පිළිබද දේශපාලන පක්ෂ නායකයින්, ආගමික නායකයින්, සිවිල් සංවිධාන සහ මහජනතාව දැණුවත් කිරීම මේ යටතේ සිදුකෙරෙන බවද චමිල් විජේසිංහ මහතා සඳහන් කරන ලදි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය කදවුරු හා සායන සදහා අද සිට ස්වෙච්ඡාවෙන් සහභාගී නොවීමට රජයේ වෛද්‍ය නිළධාරින් තීරණය කර තිබේ.

ප්‍රමාණවත් වෛද්‍යවරුන් නොමැතිව රෝහල් පද්ධතිය තුළ විවෘත කරන නව රෝහල් වාට්ටු හා ඒකක වලට වෛද්‍යවරුන් අනියුක්ත කිරීම අත්හිටුවීම ද තීරණය කර ඇතැයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය සඳහන් කළේ ය.

එහි මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව අතර අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වෙන බවය