.webp)

COLOMBO (News 1st) - අලුත්ගම මතුගම මාර්ගයේ ලබුවැල්ගොඩ ප්රදේශයේදී අණ නොතකා ධාවනය කල යතුරු පැදියක ගැටීමෙන් පොලිස් සැරයන්වරයක් මියගොස් තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ, වැලිපැන්න පොලිස් ස්ථානයට අනුයුක්ත රාජකාරි කළ අහුංගල්ල ප්රදේශයේ පදිංචි 54 හැවිරිදි පොලිස් සැරයන්වරයෙක්.
ලබුවැල්ගොඩ හන්දිය අසල, පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (15) රාත්රී කාලයේ රථවාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ නිරතව සිට ඇත.
පොලීසිය පැවසුවේ එහිදී අලුත්ගම දෙස සිට මතුගම දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් නැවැත්වීමට සංඥා කළද , යතුරු පැදිය නොවත්වා පොලිස් නිලධාරියකුගේ ගැටී ධාවනය කර ඇති බවය.
අනතුරින් බරපතල තුවාල ලැබූ අදාල පොලිස් නිලධාරියා දර්ගා නගරය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
යතුරුපැදිකරු ද තුවාල ලබා ඇති අතර, ඔහු මේවන විට නාගොඩ රෝහලේ ප්රථිකාර ලබමින් සිටි.
මේ අතර, දිවයිනේ ප්රදේශ රැසක සිදුවූ රිය අනතුරුවලින් 10 හැවිරිදි දැරියක් ඇතුළු 6 දෙනෙකු මියගොස් ඇත.
ගණේමුල්ල කඩවත මාර්ගයේ කොස්සින්න ප්රදේශයේදී යතුරුපැදියක් කාර් රථයක ගැටීමෙන් 52 හැවිරිදි පුද්ගලයෙකු මියගියේ ය.
පොලීසිය පැවසුවේ කොළඹ මීගමුව ප්රධාන මාර්ගයේ, පිදුරුවැල්ල ප්රදේශයේදී ලොරි රථයක්, කුඩා ලොරි රථයක හා පාපැදිකරුවෙකුගේ ගැටී සිදුවු අනතුරින් 73 හැවිරිදි පාපැදිකරු මියගොස් ඇති බවය.
හොරණ, මුණගම ප්රදේශයේදී ලොරියක, යතුරුපැදියක් ගැටීමෙන් 10 හැවිරිදි දැරියක් මියගොස් ඇත.
වාලච්චේන ඒ 15 මාර්ගයේ කිරාන් ප්රදේශයේදී ටිපර් රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් කිරාන් ප්රදේශයේ පදිංචි 19 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරන ලදි.
සන්දිවේලි, ජින්නා බීච් මාර්ගයේදී යතුරුපැදියක් විදුලි රැහැන් කණුවක ගැටීමෙන් 16 හැවිරිදි සිසුවෙකු මියගොස් ඇති අතර ඔහු සන්දිවේලි ප්රදේශයේ පදිංචිකරුවෙක්.
තණමල්විල වැල්ලවාය මාර්ගයේදී 41 හන්දිය ආසන්නයේදී යතුරුපැදියක් කාර් රථයක ගැටීමෙන් 22 පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.
