නාමල්ට එරෙහිව නඩුවක් යළි කැඳවීමට දින නියම වෙයි..

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නාමල් රාජපක්ෂ ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව ඇති නඩුව යළි ජූලි 30 වැනිදා කැඳවීමට දින නියම වෙයි..

by Staff writer 29-01-2026 | 6:26 PM

COLOMBO (News 1st) - මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුට එරෙහිව ඇති නඩුව යළි ජූලි  30 වැනිදා කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද දින නියම කළේ ය.

නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග.එස්.බෝදරගම හමුවේ ය.

නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ට අදාළව ගත යුතු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගය පිළිබඳව නීතිපති උපදෙස් විමසීමට කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ ය.

තවමත් නීතපති උපදෙස් ලැබී නොමැති බැවින් විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ නඩුව කැඳවීමට ඉදිරි දිනයක් ලබා දෙන ලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක්, එන්.ආර්.කන්සල්ටන්සි නමැති සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් නඩුව ගොනු කර තිබේ.

අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන් වශයෙන් කටයුතු කළ නිත්‍යා සේනානී සමරනායක, සුජානි බෝගල්ලාගම සහ සුදර්ශන ගනේගොඩ නඩුවේ සෙසු විත්තිකරුවන් ය.