ගම්මැද්ද, Care&Dare අද නුවරඑළියේදී

ගම්මැද්ද, Care&Dare අද නිල්දණ්ඩාහින්න සුමංගල ජාතික පාසලේදී

by Staff writer 07-02-2026 | 10:14 AM

COLOMBO(News1st) - ගම්මැද්ද, Care & Dare වැඩසටහනේ තුන්වැනි අදියර අද(07) සහ හෙට(08) පැවැත්වේ.

ඒ, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්.

දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ විවිධ ආපදාවලින් පීඩාවට පත් ජනතාව නගා සිටුවීම සඳහා ගම්මැද්ද, Care & Dare වැඩසටහන සකස් කෙරුණි.

ඒ, ලෝකයේ දැවැන්තම ස්වේච්ඡා සංවිධානයක් වන ඕස්ට්‍රේලියාවේ මින්ඩරූ පදනමේ දායකත්වයද ලබා ගනිමින්.

Care & Dare පළමුවැන්න කොත්මලේදීත්,  දෙවැන්න පස්සර ,මඩොල්සිම සහ වැලිමඩ ප්‍රදේවලදීත් අතිසාර්ථකව ක්‍රියාත්මක කෙරුණු අතර දහස් සංඛ්‍යාත ජනතාවට ප්‍රතිලාභ ලබා දුනි.

අද නිල්දණ්ඩාහින්න සුමංගල ජාතික පාසලේදී, එම ප්‍රදේශවාසීන්ට සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට සේවා සැපයේ.

හෙට(08) මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත්තේ ගම්පොල කුරුඳුවත්ත රාජකීය විද්‍යාලයේදීයි.

වෛද්‍ය සේවා, උපදේශන සේවා, නීති සේවා ලබාදීම මෙන්ම, සහනාධාර පිරිනැමීමද Care & Dare වැඩසටහනෙන් සිදුවන අතර  ආදායම් මාර්ග අහිමි වූ සහ ස්වයං රැකියා අහිමි වූ ජනතාවට මාර්ගෝපදේශනද ක්‍රියාත්මක කෙරේ.

ආපදාවෙන් අස්ථානගත වූ උප්පැන්න ඇතුළු වැදගත් ලිපි ලේඛන ලබාදීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද Care & Dare වැඩසටහන සමග සම්බන්ධ වනු ඇති.

ගර්භණී මාතාවන් සහ අඩු වයස් දරුවන් වෙනුවෙන් විශේෂ සේවා ලබා දීමටත්, ආපදාවට ලක්වූවන්ට වියළි සලාක ලබාදීම, ගෘහෝපකරණ ලබාදීම සහ සනීපාරක්ෂක පැකේජ ලබාදීමද තවත් සේවා කිහිපයක්.

ආපදා සහන සේවා මධ්‍යස්ථානය, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය , ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මෙහිදී ගම්මැද්ද සමග අත්වැල් බැඳගෙන සිටී.