ජොන්ස්ටන් ඇතුළු සැකකරුවන් පස්දෙනා, යළි රිමාන්ඩ්.

හිටපු ඇමති ජොන්ස්ටන් ඇතුළු සැකකරුවන් පස්දෙනා, යළි රිමාන්ඩ්.

by Staff writer 20-02-2026 | 9:59 PM

COLOMBO(News1st) - හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් පස්දෙනා, යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ, වත්තල මහේස්ත්‍රාත් කංචනා නෙරංජලා ද සිල්වා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මාර්තු 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කෙරුණු අතර තවත් අයෙකු රක්ෂිත බන්ධානාගාර ගත කෙරුණේ ලබන 27 වැනිදා දක්වායි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට 2015 ලැබුණු පැමිණිල්ලකට අදාළව කළ විමර්ශනයකට අනූව සැකකරුවන්ට එරෙහිව නඩුව පවරා තිබෙනවා.

විජයකලා මහේෂ්වරන් හිටපු මන්ත්‍රීවරියට අයත් කොළඹ පිහිටි ඉඩමක ලිපිනයක ඔවුන් පවත්වාගෙන ගිය සමාගමක් නමට සුවඳ විහිදුම් ද්‍රව්‍ය සහ පිරිසිදු කාරක නිෂ්පාදනය සදහා යැයි පෙන්වා සුරාබදු බලපත්‍රයක් ලබාගෙන එමගින් එතනෝල් ලීටර් ලක්ෂයක් මිලදී ගෙන ඒවා වෙනත් කටයුතු සඳහා යොදවා ඇතැයි විමර්ශනවලදී අනාවරණය විය.

සතොස ලොරියක් යොදා ගනිමින් අවස්ථා තුනකදී එතනෝල් ලීටර 40,000 ක් වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකර ඇත්තේ, රාජ්‍ය දේපල සාවද්‍ය පරිහණය යටතේ ය.