ප්‍රදේශ කිහිපයක රිය අනතුරුවලින් 05 දෙනෙකු මරුට.

ප්‍රදේශ කිහිපයක රිය අනතුරුවලින් 05 දෙනෙකු මරුට.

by Staff writer 22-02-2026 | 3:37 PM

COLOMBO (News 1st) - ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු වලින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ අද(22) උදෑසන පයාගල මුණසිංහගොඩ දුම්රිය හරස් මාර්ගයේදී අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ කැබ් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි.

මියගොස් ඇත්තේ අවුරුදු 22 සහ 28 හැවිරිදි මහියංගනය සහ මොලගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

මේ අතර ගාල්ල දඩල්ල කනත්ත හරස් මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය අයිනේ නවතා තිබූ බස් රථයක ගැටීමෙන් යතුරුපැදිකරු මියගියේය.

24 හැවිරිදි යතුරුපැදිකරු ගිංතොට පදිංචිකරුවෙක්.

කටුගස්තොටදී යතුරු පැදියක් ත්‍රී රෝද රථයක සහ ජීප් රථයක ගැටීමෙන් යතුරුපැදිකරු එම ජීප් රථයටම යටවීමෙන් මියගොස් තිබේ.

මේ අතර වාරියපොල - හලාවත මාර්ගයේ දී මොටර් රථයක් පදිකයෙකුගේ ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

මෘත ශරීරය වාරියපොල රෝහලේ තැන්පත් කර තිබේ.