ඉශ්‍රායල පාර්ලිමේන්තුව ඇමතූ ප්‍රථම ඉන්දීය අගමැති

ඊශ්‍රායල පාර්ලිමේන්තුව ඇමතූ ප්‍රථම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස නරේන්ද්‍ර මෝදි ඉතිහාසගත වෙයි..

by Staff writer 26-02-2026 | 10:24 AM

COLOMBO (News 1st) - ඉන්දියාව ස්ථිරව සහ පූර්ණ විශ්වාසයකින් යුතුව ඊශ්‍රායලය වෙනුවෙන් අද මෙන්ම ඉදිරියේදීත් පෙනී සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී පවසයි.

දෙදින නිල සංචාරයක් සදහා ඊයේ (25) නරේන්ද්‍ර මෝදි ඊශ්‍රායලයට පැමිණි අතර එරට පාර්ලිමේන්තුව ඇමතූ පළමු ඉන්දීය අග්‍රාමාත්‍යවරයාද ඔහුය.

2023 වසරේ ඔක්තෝම්බර් 7 වැනිදා හමාස් සංවිධානය එල්ල කල “ම්ලේච්ඡ” ප්‍රහාරය හෙළා දකින බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන ලදි.

ඔහු පෙන්වා දෙන්නේ කිසිදු හේතුවක් මත සිවිල් වැසියන් ඝාතනය කිරීම සාධාරණීකරණය කළ නොහැකි බවය.

හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ පුද්ගලයින් 1200 දෙනෙකු පමණ මියගිය අතර තවත් පිරිසක් ප්‍රාණ ඇපයට ගැනුණි.

ඊට එරෙහිව ඊශ්‍රායලය ආරම්භ කළ යුධ මෙහෙයුමෙන් මේ වන විට ගාසා තීරයේ මියගොස් ඇති පලස්තීනුවන් සංඛ්‍යව 72,000කට අධිකයි.

මේ අතර ඉන්දියාව සහ ඊශ්‍රායලය විශ්වාසවන්ත හවුල්කරුවන් බව සඳහන් කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙළඳාම සහ ආරක්ෂාව සහ  තාක්ෂණය යන ක්ෂේත්‍ර වල දෙරට අතර සහයෝගීතාව අගය කරන ලදි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ නරේන්ද්‍ර මෝදි තමන්ට මිතුරෙකුට වඩා සහෝදරයෙකු වී ඇති බවය.

ඉන්දියාව ඊශ්‍රායලයේ විශාලතම ආයුධ ගැනුම්කරු වන අතර, 2020 වසරේ සිට 2024 යන කාලය තුළ ඊශ්‍රායල ආයුධ සඳහා ඉන්දියාව ඩොලර් බිලියන 20කට වැඩි මුදලක් වැය කර ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.