රුසියානු බොරතෙල් මිලදී ගැනීමට අමෙරිකාවෙන් අවසර

සම්බාධක පැනවුණු රුසියානු බොරතෙල් මිලදී ගැනීමට ලොව රටවලට අමෙරිකාවෙන් අවසර..

by Staff writer 13-03-2026 | 11:30 AM

COLOMBO (News 1st) - සම්බාධක පැනවුණු රුසියානු බොරතෙල් මිලදී ගැනීමට විදෙස් රටවල් සහ සමාගම් වලට තාවකාලිකව අවසර ලබාදී ඇතැයි අමෙරිකාව පවසයි.

ඒ ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමඟ ලෝක වෙ‍ෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින්.

අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කළේ ලබන අප්‍රේල් 11 වැනිදා දක්වා එලෙස රුසියානු බොරතෙල් මිලදී ගැනීමට අවසර හිමිවන බවය.

එලෙස බොරතෙල් මිලදී ගත හැක්කේ මේ වන විට මුහුදේ ප්‍රවාහනය වෙමින් ඇති රුසියානු ඉන්ධන ප්‍රවාහන නෞකාවලින් පමණක් බවත් අමෙරිකාව පවසයි.

ඒ අනුව රුසියාවට මේ හරහා විශාල ආර්ථික වාසියක් හිමි නොවන බවත් අමෙරිකානු  භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කරන ලදි.

ඉන්ධන මිල ඉහළ යෑම තාවකාලික බාධාවක් බවත්, දිගු කාලීනව එය අමෙරිකාවේ ආර්ථිකයට දැවැන්ත ප්‍රතිලාභයක් අත්කර දෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

අමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියානු බොරතෙල් සඳහා වන සම්බාධක දැඩි කළේ 2022 වසරේදී රුසියාව, ය්‍රක්‍රේනය ආක්‍රමණය කිරීම හේතුවෙනි.