ඇමරිකාවෙන් ඉරාන වෙළෙඳ නෞකාවකට ප්‍රහාරයක්

ඇමරිකාවෙන් ඉරාන වෙළෙඳ නෞකාවකට ප්‍රහාරයක් - ඇමරිකානු ජනපති

by Staff writer 20-04-2026 | 8:14 AM

COLOMBO (News 1st) - හමුදා නියෝගවලට අවනත නොවූ ඉරානයේ ටූස්කා (TOUSKA) භාණ්ඩ ප්‍රවාහන නෞකාව ඇමරිකානු ම'රීන් සෙබළුන් ග්‍රහණයට ගත් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කළේ, ඇමරිකානු හමුදා ඕමාන බොක්කේ යාත්‍රා කෙරුණු අදාල ඉරාන නෞකාවට වහාම නවත්වන්නැයි  සිදුකළ අනතුරු ඇඟවීම් එහි කාර්ය මණ්ඩලය ප්‍රතික්ෂේප කළ බවයි.

ඒ අනුව ඇමරිකාවේ ඩිස්ට්‍රෝයර් වර්ගයේ USS SPRUANCE නෞකාව, ඉරාන නෞකාවේ එන්ජින් කාමරයට ප්‍රහාර එල්ල කඝ බවත් අදාල පණිවුඩයේ සඳහන්.

අඩි 900ක පමණ දිගින් යුතු අදාළ ඉරාන නෞකාව ගුවන් යානා ප්‍රවාහන නෞකාවකට සමාන බරකින් යුක්ත බවත්,, එම නෞකාවේ නීති විරෝධී ක්‍රියාකාරකම් හේතුවෙන් ඊට ඇමරිකානු සම්බාධක පනවා තිබූ බවත්, ඇමරිකානු ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය සටහනේ සඳහන් වේ.

අද (20) අලුයම එකට පමණ නිකුත් කර තිබූ, එම සටහනේ වැඩිදුරටත් දැක්වූයේ, නෞකාවේ සම්පුර්ණ භාරකාරත්වය ඇමරිකාව සතුවන බවයි.

ඉන් පැය කිහිපයකට පසු ඇමරිකානු මධ්‍යම විධානයද ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කළේ ය.

ඉරාන වාරයක් වෙත යාත්‍රා කිරීමට උත්සාහ කළ ඉරාන ධජය සහිත වෙළෙඳ නෞකාවකට පැය 6ක පමණ කාලයක් අනතුරු ඇඟවූ බවත්, ඔවුන් ඇමරිකාවේ නියෝගවලට අනුගත නොවීම මත නෞකාවේ එන්ජින් කාමරය ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළ බවත් එහි දැක්වේ.

පසුව අදාළ නෞකාව ඇමරිකානු ම'රීන් භටයින් සිය ග්‍රහණයට ගත් බවත් ඇමරිකානු මධ්‍යම විධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

කෙසේ නමුත් ඕමාන මුහුදේ රැඳී සිටින ඇමරිකානු හමුදා ඉරාන වෙළෙඳ නෞකාවකට බලපෑම් කලද, ඉරාන විප්ලවීය හමුදාවේ ක්ෂණික ප්‍රතිචාර දැක්වීම හමුවේ ඇමරිකානුවන්ට පසුබැසීමටත් පසුව කලාපයෙන් පලා යාමටත් සිදුවූ බව ඉරානයේ මෙහර් පුවත් සේවයේ වර්තාවක දැක්වේ.

එසේ වුවද මේ වන විට ඉරාන මධ්‍යම හමුදා මුලස්ථානය අදාල සිදුවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇතැයි, විදෙස් වාර්තා වල දැක්වේ.

ආක්‍රමණශීලී ඇමරිකානු හමුදා,, සටන් විරාමය උල්ලංඝනය කරමින් ඕමාන මුහුදේ යාත්‍රා කළ ඉරාන නෞකාවකට ප්‍රහාර එල්ල කළ බව ඉරාන මධ්‍යම හමුදා මූලස්ථානය උපුටා දක්වමින් ටස්නීම් පුවත් සේවය වාර්තා කොට තිබේ.

අදාළ නෞකාවට ඇමරිකානු හමුදා බටයින් ගොඩවී ඇති බවත්,, ඉරාන ජනරජයේ සන්නද්ධ හමුදා කඩිනමින් ඇමරිකානු හමුදා සිදුකළ "සන්නද්ධ මුහුදු මංකොල්ලයට" ප්‍රතිචාර දක්වන බවත් අදාළ පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.