කැබිනට් තීරණ...

2026-05-26 දින කැබිනට් තීරණ...

by Staff writer 26-05-2026 | 4:12 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඒකාබද්ධ ජාන සම්පත් හුවමාරුව සහ ඉහළ අස්වැන්නක් ලබා දෙන ලවණතාවට ඔරොත්තු දෙන වී ප්‍රභේද නිපදවීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම...

වී වගාවේ ඵලදායීතාව වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින්, ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ වියට්නාම කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය අතර කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා වන අවබෝධතා ගිවිසුමකට 2025-05-05 දින එළඹ තිබේ. එම ගිවිසුම යටතේ 'ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඒකාබද්ධ ජාන සම්පත් හුවමාරුව සහ දෙමුහුන්කරණය තුළින් ඉහළ අස්වැන්නක් සහ ලවණතාවට ඔරොත්තු දෙන වී ප්‍රභේද නිපදවීම' යන නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය එකඟතාව පළ කරනු ලැබ ඇත. දෙරට අතර වී ප්‍රභේදවල ජාන ප්ලාස්ම ද්‍රව්‍ය හුවමාරු කිරීම, ඒකාබද්ධ අභිජනන සහ දෙමුහුන්කරණ වැඩසටහන් පැවැත්වීම, දේශීය තත්ත්වයන් යටතේ ඉදිරි අභිජනන පෙළපත් ඇගයීම සහ තෝරා ගැනීම, ක්ෂේත්‍ර අත්හදා බැලීම් ස්ථාපිත කිරීම, පර්යේෂණ නිලධාරින් පුහුණු කිරීම සහ දැනුම හුවමාරු කර ගැනීම යන ක්‍රියාකාරකම් එකී ව්‍යාපෘතිය යටතේ සිදු කිරීමට අපේක්ෂිත ය. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

යුරෝපා සංගමයේ සාමාජික රටවල් වෙත සිදු කරනු ලබන කෘෂිකාර්මික ආහාර ද්‍රව්‍ය අපනයනය සඳහා පරීක්ෂණ හා ආහාර ආරක්ෂණ ක්‍රමවේදය විධිමත් කිරීම...

යුරෝපා සංගමයේ සාමාජික රටවල්, එම රටවල් විසින් ආනයනය කරනු ලබන ආහාරවල අන්තර්ගත විය හැකි පළිබෝධනාශක/අවශේෂ ප්‍රමාණ හෙවත් 'උපරිම අවශේෂ මට්ටම්' (Maximum Residue Levels) සම්බන්ධයෙන් පොදු ආරක්ෂණ නීතියකින් සම්බන්ධීකරණය වේ. මේ වන විට ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයේ රටවල් වෙත අපනයනය කරන ඇතැම් නැවුම් එළවළු සහ පළතුරුවල කෘෂි රසායන අවශේෂ 'උපරිම අවශේෂ මට්ටම්වලට' වඩා ඉතා අවදානම් ලෙස වැඩි වී ඇති බව යුරෝපා කොමිසමේ නියෝජිතායතනයක් වන සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ නියාමන අධිකාරිය විසින් වාර්තා කර ඇත. එබැවින්, යුරෝපා සංගමයේ රටවල් හා අනෙකුත් ආනයන රටවල් වෙත කෘෂිකාර්මික ද්‍රව්‍ය අපනයනය කිරීම ඉදිරියේදී අභියෝගාත්මක තත්ත්වයකට පත් වීම වැළැක්වීම පිණිස මෙරට අපනයන කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් පරීක්ෂණ හා ආහාර ආරක්ෂණ ක්‍රමවේද විධිමත් කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, ආරම්භක පියවරක් වශයෙන් යුරෝපා සංගමය වෙත අපනයනය කරනු ලබන සියලුම නැවුම් එළවළු සහ පළතුරුවල ගුණාත්මකභාවය සනාථ කිරීම සඳහා අවම වශයෙන් ශ්‍රී ලාංකීය යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (Sri Lankan Good Agricultural Practices - SLGAP) මාර්ගෝපදේශ අනුව සහතිකකරණය ලබා ඇති ගොවිපොළ, ලියාපදිංචි අපනයනකරුවන් සහ සකස් කිරීමේ ඇසුරුම්හල් මඟින් පමණක් අදාළ අපනයනයන් සිදු කිරීම අනිවාර්ය කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

'ශ්‍රී ලංකාවේ උක් ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර සහයෝගිතා ගිවිසුමකට එළඹීම...

වර්තමානයේ මෙරට සීනි අවශ්‍යතාවයෙන් 90%ක් පමණ ආනයනය කරනු ලබන අතර, ඒ සඳහා සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් වැය කිරීමට සිදුව ඇත. දේශීය උක් ක්ෂේත්‍රය තුළ පවතින දුර්වලතා සහ මුහුණ දෙන අභියෝග ජය ගැනීම සඳහා ජාත්‍යන්තර තාක්ෂණික සහයෝගිතාව ලබා ගැනීමේ අවශ්‍යතාවය හඳුනා ගනු ලැබ තිබේ. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, උක් පර්යේෂණ ආයතනය හා ජාතික විද්‍යා පදනම සහ බ්‍රසීලයේ බ්‍රසීලියානු සහයෝගිතා ඒජන්සිය හා සාඕ කාලෝස් ෆෙඩරල් විශ්වවිද්‍යාලය යන ආයතන එක්ව 'ශ්‍රී ලංකාවේ උක් ව්‍යාපෘතිය' නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරිම සඳහා සැලසුම් කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේ උක් අස්වැන්න හා සීනි නිෂ්පාදනය වැඩි කිරීම, පුහුණුව හා දැනුම හුවමාරුව තුළින් පාර්ශ්වකරුවන්ගේ තාක්ෂණික ධාරිතාව වැඩිදියුණු කිරීම, අගය එකතු කිරීම හා අතුරු නිෂ්පාදන කාර්යක්ෂමව භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ සීනි නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම යන කාර්යයන් සඳහා උක් නිෂ්පාදනයේ ගෝලීය ප්‍රමුඛයෙකු ලෙස බ්‍රසීලය සතු විශේෂඥතාව සහ අත්දැකීම් එම ව්‍යාපෘතිය මඟින් මෙරටට ලබා ගැනීමට අපේක්ෂිතය. දෙරට අතර 2008 වර්ෂයේදී අත්සන් තබා ඇති තාක්ෂණික සහයෝගිතා ගිවිසුම් රාමුව යටතේ යෝජිත ව්‍යාපෘතිය මාස 36ක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රාජ්‍ය ව්‍යවසායන් සඳහා මෑන්පවර් ආයතනවල සේවාවන් ලබා ගැනීම නියාමනය කිරීම සහ මෑන්පවර් සේවකයින්ගේ කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම...

ශ්‍රී ලංකාවේ ඇතැම් රාජ්‍ය ව්‍යවසායයන් සිය ප්‍රධාන මෙහෙයුම් කටයුතු සඳහා සේවකයින් ඍජුව බඳවාගැනීම වෙනුවට බාහිර පාර්ශ්වීය මෑන්පවර් ආයතන මඟින් තාවකාලික පදනමින් සේවකයින් ලබා ගැනීම ක්‍රමානුකූලව වර්ධනය වීමේ ප්‍රවණතාවක් පසුගිය කාලසීමාව තුළ නිරීක්ෂණය වී තිබේ. එමෙන්ම, එවැනි සේවකයින් සැලකිය යුතු තරම් වන දීර්ඝ කාලයක් තිස්සේ එකම රාජ්‍ය ආයතනයක සේවයේ යොදවා ගනු ලැබ ඇති අවස්ථා ද දක්නට ලැබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ස්ථිර සේවකයින් හා සමාන රාජකාරි ඉටු කරන නමුත් රැකියා සුරක්ෂිතතාව, ව්‍යවස්ථාපිත ප්‍රතිලාභ සහ නිසි නීතිමය පිළිගැනීමක් නොමැති අනාරක්ෂිත සේවා නියුක්තික ප්‍රජාවක් එම ආයතන තුළ බිහි වී ඇත. එකී තත්ත්වය, සමාන කාර්යයයේ නිරතවන සේවකයින්ට සමාන වැටුප් සහ ප්‍රතිලාභ (Equal Pay For Equal Work) යන මූලික කම්කරු සංකල්පයෙන් බැහැර වීමකි. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පෞද්ගලික රැකියා නියෝජිතායතන ප්‍රඥප්තියට අනුව මෙරට සේවක අයිතිවාසිකම් හා සුබසාධනය තහවුරු කිරීම සිදු කළ යුතු බැවින්, මෑන්පවර් ආයතනවල සේවකයින් යෙදවීම නියාමනය කිරීම සහ ඔවුන්ගේ කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා පවතින නෛතික ප්‍රතිපාදන සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, රාජ්‍ය ව්‍යවසායයන්හි මූලික ව්‍යාපාර කටයුතු සඳහා දැනටමත් දීර්ඝ කාලයක් තිස්සේ සේවයේ යොදවා ඇති මෑන්පවර් සේවකයින්ට අගතියක් නොවන අයුරින්, ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු පියවර සහ අදාළ නීතිරීති සංශෝධනය කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අදාළ නිලධාරින් සහ පාර්ශ්වයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

'සුරකිමු ලංකා' බලශක්ති සුරක්ෂිතතා ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීම...

බලශක්ති සැපයුම පොසිල ඉන්ධන මත සැලකිය යුතු ලෙස රඳා පැවතීම, අනපේක්ෂිත වියළි කාලගුණික තත්ත්ව, භූ දේශපාලනික අස්ථාවර තත්ත්වයන් මත වරින්වර ඉන්ධන සැපයුම අඩාලවීම, ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ඉන්ධන මිල උච්ඡාවචනය වීම ආදී හේතූන් මත මෙරට බලශක්ති සුරක්ෂිතතාව අභියෝගයට ලක්ව තිබේ. එකී සියලු සාධක මත ඉහළ යන ඉන්ධන ආනයන වියදම ජාතික ආර්ථිකය මත ඇති කරන අතිරේක පීඩනය, විදුලි පාරිභෝගිකයින්ගේ අක්‍රමවත් විදුලි පරිභෝජන රටාව හේතුවෙන් තවදුරටත් තීව්‍ර වන බව හඳුනා ගෙන ඇත. එබැවින්, එම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරීම පිණිස වැඩි පුනර්ජනනීය බලශක්ති ජනනයක් ඇති කාලපරාසවලට විදුලි පරිභෝජනය හැකිතාක් යොමු කිරීම සඳහා හා බලශක්ති පරිභෝජන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මහජනතාවගේ චර්යාත්මක වෙනස්වීම් ද අත්‍යවශ්‍ය බව හඳුනා ගෙන තිබේ. එකී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා 'සුරකිමු ලංකා' බලශක්ති සුරක්ෂිතතා ජාතික මෙහෙයුම නමින් ඒකාබද්ධ වැඩසටහනක් ජනාධිපති කාර්යාලය, බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ප්‍රමුඛ කොටගත් සියලු රාජ්‍ය ආයතන, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල, පෞද්ගලික අංශය හා මහජනතාව සමඟ එක්ව ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වී අලෙවි මණ්ඩලය සතු වී තොග අලෙවි කිරීම...

වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිල දී ගන්නා ලද වී තොග මෙට්‍රික්ටොන් 115,000කට ආසන්න ප්‍රමාණයක් මණ්ඩලයේ ගබඩාවල ගබඩා කර ඇති අතර, ඉදිරි යල කන්නයේ ගොවීන්ගේ වී මිල දී ගැනීම සඳහා අවශ්‍ය ගබඩා ඉඩකඩ සහ අරමුදල් සලසා ගැනීම පිණිස එම වී තොගයෙන් ප්‍රමාණවත් ආරක්ෂිත තොගයක් රඳවාගෙන ඉතිරිය අලෙවි කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, විධිමත් ටෙන්ඩර් ක්‍රමවේදය අනුගමනය කරමින් එම වී තොග අලෙවි කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2025 අංක 1 දරන මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන් සඳහා වන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම...

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම/ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම කෙරෙහි අනුකූලව කටයුතු කිරීම තහවුරු කිරීමේ අරමුණින්, 2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතේ විධිවිධාන යටතේ 2024 අංක 1 දරන මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන් නියාමනය කිරීම සඳහා වන නියෝග ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ඒ අනුව, ඇපයෙන් සීමිත සමාගමක්, අක් වෙරළ සමාගමක් හෝ විදේශීය සමාගමක් හැර 2007 අංක 07 දරන සමාගම් පනතේ විධිවිධාන යටතේ ලියාපදිංචි කරන ලද සමාගම් පමණක් එකී නියෝග යටතේ ලියාපදිංචි සහතිකයක් ලබා ගැනීමට සුදුසුකම් ලබයි. එසේ වුවද, විදේශීය මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන් ශ්‍රී ලංකාවේ සිටින තම නියෝජිතයන් හරහා තම සේවා සැපයීමේ නිරතව සිටින බවත්, එම ආයතනවලට දැනට බලාත්මක නියෝග අනුව ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් ලියාපදිංචි සහතිකයක් ලබා ගැනීමට හැකියාවක් නොමැති බවත්, නිරීක්ෂණය කරනු ලැබ ඇත. ඒ අනුව, විදේශීය මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන් සඳහා ද ලියාපදංචි සහතිකයක් ලබා ගැනීමට නීතිමය ප්‍රතිපාදන සැලසෙන අයුරින්, 2024 අංක 1 දරන මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන් සඳහා වන නියෝග සංශෝධනය කරමින්, 2025-12-23 දිනැති අංක 2468/06 දරන අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් 2025 අංක 1 දරන මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන් සඳහා වන නියෝග ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

1992 අංක 46 දරන අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීම...

මෙරට අපනයන කෘෂිකර්ම ක්‌ෂේත්‍රය නියාමනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා 1992 අංක 46 දරන අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන පනත මඟින් නෛතික ප්‍රතිපාදන සලසා ඇත. කාලානුරූපීව ඇති වූ පරිපාලනමය වෙනස්කම් සහ ක්ෂේත්‍රයේ වෙනස්කම් සැලකිල්ලට ගනිමින්, වසර 30කට අධික කාලයක් තුළ යාවත්කාලීන නොවූ එම පනත සංශෝධනය කිරීම සඳහා 2023-09-04 සහ 2025-08-11 දිනයන්හි පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී අනුමැතිය ලබා දී තිබේ. එම යෝජිත සංශෝධන මඟින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ හා අනෙකුත් නිලධාරින්ගේ තනතුරු නාම සංශෝධනය කිරීමට හා 'අපනයන කෘෂිකර්ම බෝගය' යන්නට වඩාත් පැහැදිලි අර්ථ නිරූපණයක් ලබා දීමට අපේක්ෂා කර ඇත. ඒ අනුව, 1992 අංක 46 දරන අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් භාෂාත්‍රයෙන් සකස් කරනු ලැබ ඇති අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම...

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ විමල් එස්.කේ.ලියනගම මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම මත මේ වන විට පුරප්පාඩුව පවතින එම තනතුරට සුදුසු නිලධරයෙකු පත් කිරීම සම්බන්ධව නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් විසින් කමිටුවක් පත් කරනු ලැබ තිබේ. එකී කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, දැනට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තනතුරක සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි, එම්.කේ.ඩී.එන්.මාදම්පේ මහත්මිය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.