.webp)
-617527.jpg)
තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ මෑත කාලයේදී ලොව පුරා නිතර සිදුවන මෙම දේශසීමා සූදු සහ සයිබර් වංචා, සාමාන්‍ය අපරාධ සීමාවන් ඉක්මවා ගොස් ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ (Transnational organized crime) බවට පරිවර්තනය වී ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දී ඇති පරිදි, මෙවැනි වංචනික මධ්‍යස්ථාන (Scam centers) මේ වන විට අග්නිදිග ආසියාවෙන් පිටත වෙනත් කලාප වෙත ද ව්‍යාප්ත වෙමින් පවතින අතර, මෙම අපරාධ ජාලයන් මිනිස් ජාවාරම (Human trafficking) සමගද දැඩි ලෙස බද්ධ වී ඇති බවයි. මෙලෙස සිදුවන අපරාධවල ප්‍රධානතම ගොදුරක් බවට චීන පුරවැසියන් පත්ව ඇති බව ද එහි සඳහන් වේ.
චීන රජයේ දැඩි ස්ථාවරය සහ නීතිමය පසුබිම:
දේශසීමා හරහා සිදුවන සූදු ව්‍යාපාර සම්බන්ධයෙන් චීන රජයේ ස්ථාවරය නොවෙනස්ව පවතින අතර, චීන අපරාධ නීතියට ගෙන ආ නව සංශෝධන මගින් දේශසීමා සූදු ක්‍රියාකාරකම් අපරාධ නීතිය යටතට පත් කර තිබේ.
ඒ අනුව චීන රජය නිකුත් කර ඇති නියෝග 03කි:
1. චීන ප්රාග්ධනය (මූල්‍ය ආයෝජන) විදේශීය කැසිනෝ ව්‍යාපාරවල ආයෝජනය කිරීම සපුරා තහනම් වේ.
2. චීන පුරවැසියන්ට විදේශීය කැසිනෝ මෙහෙයවීම සඳහා සම්බන්ධ වීම තහනම් වේ.
3. විදේශීය කැසිනෝ මගින් චීන පුරවැසියන් සූදුව සඳහා පොළඹවා ගැනීම හෝ කැඳවා ගැනීම සපුරා තහනම් වේ.
මෙවැනි සූදු ක්‍රියාකාරකම් මගින් මූල්‍ය විනාශයන් පමණක් නොව, මිනිස් ජාවාරම, පැහැරගැනීම්, නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීම් (Unlawful detention), මුදල් විශුද්ධිකරණය (Money laundering) සහ නීතිවිරෝධී ලෙස දේශසීමා හරහා ගමන් කිරීම් (Illegal border crossing) වැනි දරුණු අපරාධ රැසකට මෙය මූලික වන බව චීනය පවසයි.
ජාත්‍යන්තර සහයෝගීතාවය සහ අනෙකුත් රටවල්
සම්ප්‍රදායික අපරාධ ශීඝ්‍රයෙන් අන්තර්ජාලය වෙත ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක, චීනය මීට පෙර ද රටවල් කිහිපයක් සමග ඒකාබද්ධ නීති බලාත්මක කිරීමේ සහයෝගීතාවයන් සාර්ථකව පවත්වා ඇත.
ඒ අනුව:
ස්පාඤ්ඤය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE), මියන්මාරය සහ කාම්බෝජය යන රටවල් සමඟ එක්ව කටයුතු කර එම විදේශයන්හි සිටි වංචාකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන චීනය වෙත පිටුවහල් කිරීමට සමත්ව තිබේ.
මෙවැනි වංචාවලට එරෙහිව පොදු ක්‍රමවේදයක් සැකසීම සඳහා "දුරකථන සහ මාර්ගගත වංචාවලට එරෙහි ජාත්‍යන්තර සන්ධානයක්" (International alliance against telecom and online fraud) පිහිටුවීමට ද චීනය යෝජනා කර ඇත.
ශ්‍රී ලංකාව තුළ වත්මන් තත්ත්වය සහ වැටලීම්:
මේ වසරේ (2026) ආරම්භයේ සිට, අනෙකුත් රටවල ක්‍රියාත්මක වූ මාර්ගගත සූදු, සයිබර් වංචා සහ ඊට අදාළ "අළු සහ කළු" (Criminal grey and black industries) අපරාධ කල්ලි ශ්‍රී ලංකාව වෙත සංක්‍රමණය වීමේ වර්ධනයක් දක්නට ලැබේ. මෙය නැගෙනහිර සහ අග්නිදිග ආසියානු අපරාධ ජාලයන් "වඩාත් දුරස්ථ සහ අවදානම් සහගත" කලාප වෙත ව්‍යාප්ත වීමේ සෘජු ප්‍රතිඵලයක් බව තානාපති කාර්යාලය පෙන්වා දෙයි.
මේ හේතුවෙන් චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, මුදල් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ සමග සන්නිවේදනය සහ සම්බන්ධීකරණය මේ වන විට ශක්තිමත් කර තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් දියත් කළ වැටලීම්වලදී:
නීතිවිරෝධී සූදු සහ වංචා මධ්‍යස්ථාන රැසක් වටලා, විවිධ රටවල ජාතිකයින් ඇතුළු සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
වංචනික ක්‍රියාවලට සම්බන්ධ වූ චීන ජාතිකයින් පිරිසක් මේ වන විටත් වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා චීන පොලිස් බලධාරීන් (Public security authorities) වෙත භාර දී තිබේ.
මෙම වැටලීම් සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය, මුදල්, අමාත්‍යාංශය මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ආගමන විගමන බලධාරීන් සහ පොලීසිය සිදුකළ කැපවීම චීනයේ ඉහළ ඇගයීමට ලක්ව ඇත.
ශ්‍රී ලංකාවට සිදුකළ අනතුරු ඇඟවීම සහ අනාගත පියවර: මෙම නීතිවිරෝධී මාර්ගගත සූදු සහ දුරකථන වංචා ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීමට වහාම දැඩි පියවර නොගතහොත්, එමගින් රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානි සිදුවන අතර මහජන ආරක්ෂාව, සමාජ ස්ථාවරත්වය සහ ශ්‍රී ලාංකික ජනතාවගේ සුරක්ෂිතතාවය ද බරපතළ ලෙස අනතුරේ වැටෙනු ඇත. එමෙන්ම රටේ අධිකරණ සහ නීති පද්ධතියේ සම්පත් අනවශ්‍ය ලෙස ක්ෂය වීමට ද එය හේතුවක් වේ.
චීන රජය ඉදිරියේදී ද තම ගෝලීය ආරක්ෂක මුලපිරීම (Global Security Initiative) සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම (Global Civilization Initiative) සක්‍රීයව ක්‍රියාවට නංවන අතරම, ශ්‍රී ලංකාව සමග පවතින නීති බලාත්මක කිරීම සහ ආරක්ෂක සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරන බව මෙම නිවේදනයේ සඳහන් කර ඇත. එමගින් දෙරටේම ජනතාවගේ ජීවිත, දේපළ මෙන්ම මූල්‍ය සුරක්ෂිතතාවය ආරක්ෂා කර, පිරිසිදු, ආරක්ෂිත සහ සුන්දර ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට දායක වන බව චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
