ඇමරිකාව සහ ඉරානය අවබෝධතා ගිවිසුමකට එකඟවෙයි...

දින 108කට පසු ඇමරිකාව සහ ඉරානය අවබෝධතා ගිවිසුමකට එකඟවෙයි...

by Staff writer 15-06-2026 | 8:18 AM

COLOMBO (News 1st)- දින 108කට පසු ඇමරිකාව සහ ඉරානය අවබෝධතා ගිවිසුමකට එකඟ වී තිබේ.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් අද (15) අලුයම එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් නිවේදනය කළේ, ඉරාන - ඇමරිකා සාම ගිවිසුම දැන් ක්‍රියාත්මක බවයි.

ලෙබනනය ඇතුළු සියලු සටන් පෙරමුණුවල ගැටුම් වහාම නැවැත්වීම ඊට ඇතුළත් බවත්, එළැඹෙන ජූනි 19වැනි සිකුරාදා ස්විට්සර්ලන්තයේදී අදාළ ගිවිසුමට අත්සන් තැබෙන බවත්, ඔහු නිකුත් කළ එක්ස් පණිවුඩයේ දැක්වේ.

ඉන් පසු අද මෙරට වේලාවෙන් අලුයම තුනට පමණ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද, ටෘත් පණිවුඩයක් නිකුත් කරමින් සාම ගිවිසුම පිළිබඳව තහවුරු කළේ ය.

එහි දැක්වෙන්නේ, ඉරානය සමග එකඟතාව සම්පූර්ණ බවයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය කිසිඳු ගාස්තුවකින් තොරව විවෘත කෙරෙන බවත්, ඊට සමගාමීව ඉරානයේ වරායන් අවහිර කිරීමේ මෙහෙයුමද වහාම ඉවත් කෙරෙන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ ටෘත් පණිවුඩයේ සඳහන්.

ඊට දායක වූ පාර්ශව සියල්ලටම සුභ පැතුම් එක්කරමින් ට්‍රම්ප් පවසන්නේ, ලොව පුරා ඉන්ධන ගලා යෑමට ඉඩ හරිමින්, ඉන්ධන ප්‍රවාහන නෞකා දැන් සිය එන්ජින් යළි පණගැන්විය යුතු බවයි.

ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයද සාම ගිවිසුම පිළිබඳව තහවුරු කර ඇත.

එහි ලේකම් කාර්යාලය උපුටා දක්වමි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ලෙබනනය ඇතුළු සියලුම පෙරමුණුවල සටන් වහාම සහ ස්ථිරවම නවතා දැමීමත්, ඉරාන වරායන්ට පනවා ඇති ඇමරිකානු නාවික අවහිරය වහාම අවසන් කිරීමත්, ඇමරිකාව සමග ඇති කරගත් ගිවිසුමට ඇතුළත් වන බවයි.

අදාළ අවබෝධතා ගිවිසුමට නිල වශයෙන් අත්සන් තැබීම ජූනි 19 වන සිකුරාදා පැවැත්වෙන බවද, ඉරානය තහවුරු කර තිබේ.

කෙසේ නමුත් අවසාන ගිවිසුමක් සඳහා වන සාකච්ඡා, අනෙක් පාර්ශවය මෙම අවබෝධතා ගිවිසුම යටතේ ඇති බැඳීම් ඉටු කරන බව තහවුරු වන තෙක් කල් තැබෙන බවත් ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිල නිවේදනයේ සඳහන්..

පාකිස්ථානයේ මෙන්ම කටාර් රාජ්‍යය මේ වෙනුවෙන් ගත් උත්සාහයන් අගය කොට සලකන බවත්, ඉරාන නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඉරාන ආරක්ෂක කවුන්සිලයේ නිවේදනයට පෙර ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය කසීම් ගරිබබාදි උපුටා දක්වමින් ටස්නීම් පුවත් සේවයද ඒ බව වාර්තා කළේ ය.

ඉරානයට එරෙහි ආක්‍රමණ නැවැත්වීම, වරායන් අවහිරය ඉවත් කිරීම, සහ ඉරානයේ අක්‍රීය කර ඇති වත්කම් නිදහස් කිරීම ඇතුළු ගිවිසුමේ කොන්දේසිවලට ඇමරිකාව කැපවී ඇතැයි තහවුරු කර ගැනීමෙන් පසු, අවසාන ගිවිසුමක් සඳහා වන සාකච්ඡා දින 60ක කාලයක් ඇතුළත පවත්වන බව එහි සඳහන් වේ.