ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ බලාගාරයට...

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක.

by Staff writer 16-06-2026 | 3:24 PM

COLOMBO(News1st) - ගල් අඟුරු ආනයනයේදී සිදු වු බව කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන නිළධාරීන් අද(16) නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, විමර්ශන නිළධාරින් සිය සංචාරයේදී ගල් අඟුරු ගොඩබෑමේ සිට ගල් අඟුරු මගින් විදුලිය ජනනය කරන තෙක් වන සම්පූර්ණ ක්‍රියාවලිය නිරීක්ෂණය කළ බවයි.

ගල් අඟුරු ගොඩබෑම, ගබඩා කර තැබීම, අහඹු නියැඳි සාම්පල ලබා ගැනීම, නියැඳි පරීක්ෂණය හා ප්‍රධාන පාලක මැදිරියේ මෙහෙයුම් කටයුතු ආදී කාර්යයන් පිළිබඳව ද විමර්ශන නිලධාරීන් නිරීක්ෂණය කර ඇතැයි සඳහන් වේ.

මෙරට ගල් අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට පසුගිය අප්‍රේල් 16 වැනිදායින් අවසන් වූ කාල සීමාවේ රජයට අයත් ගල් අඟුරු පුද්ගලික සමාගම හෝ එහි අනුප්‍රාප්තිකයින් මගින් ලංකාවට ගල් අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එම කොමිෂන් සභාව පත් කළේ ය.