ගෝඨාභය ගොනු කළ පෙත්සම සලකා බැලීම යළි කල් දැමේ.

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා හිටපු ජනපති ගෝඨාභය ගොනු කළ පෙත්සම සලකා බැලීම යළි කල් දැමේ.

by Staff writer 24-06-2026 | 7:42 PM

COLOMBO(News1st) - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රිට් පෙත්සමේ වැඩිදුර සළකා බැලීම ජුලි 6 වැනිදා යළි සිදු කිරීමට අභියාචනාධිකරණය අද(24) දින නියම කළේය.

පෙත්සම ගොනු කර ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලමින්ය.

පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන විනිසුරු මඩුල්ල ඉදිරියේ සළකා බැලුනි.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා දෙවන දිනටත් කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායකයා පාස්කු විමර්ශනයට අදාළව කිසිදු විමර්ශනයක් සඳහා කැඳවා නොමැති බවයි.

එවැනි පසුබිමක සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට වගඋත්තරකරුවන් උත්සාහ කරන බව ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.

ඔහු පැවසුවේ, ස්විට්සර්ලන්තයට පලා ගොස් සිටින අසාද් මවුලානා නමැති පුද්ගලයෙකු බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට කළ ප්‍රකාශයක් පදනම් කරගෙන මෙම විමර්ශන සිදුවන බවයි.

එම පුද්ගලයාගේ ප්‍රකාශය මත පදනම්ව සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සිදු කළ නොහැක්කක් බවද  ඔහු පැවසුවේය.

අසාද් මවුලානා නැමැති පුද්ගලයා ලංකාවේ අධිකරණ පද්ධතිය ද විවේචනය කරමින් ප්‍රකාශ සිදු කර තිබෙන බව පැවසූ ජනාධිපති නීතීඥ රොමේෂ ද සිල්වා කියා සිටියේ එවන් පුද්ගලයකුගේ ප්‍රකාශ මත පදනම්ව සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම පදනම් විරහිත අත්තනෝමතික ක්‍රියාවක් බවයි.

නඩුකරයට අදාළව ඉදිරිපත් කර තිබෙන ලේඛන සමග සිය සේවාදායකයා යම් යම් පුද්ගලයින් සමග ගත් ඡායාරූප පිටපත් කිහිපයක්ද ඇතැයි පැවසූ ජනාධිති නීතිඥවරයා දේශපාලඥයින් මුණගැසීමට විවිධ පුද්ගලයන් පැමිණෙන බවත් එම ඡායාරූප පදනම් කර ගනිමින් සිය සේවාදායකයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට ප්‍රකාශ කළ නොහැකි බවට තර්ක කළේය.

පිල්ලෙයාන් සහ කරුණා අම්මාන් සමග ගෝඨාභය රාජපක්ෂ ගත් ඡායාරූප 2ක් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් රොමේෂ් ද සිල්වා පැවසුවේ, ඒවා දේශපාලන කටයුතු අතරතුර ලබාගත් ඒවා බවයි.

එම ඡායාරූප නීතිපති දෙපාර්තමේන්තුව විසින් ද්වේෂ සහගතව ඉදිරිපත් කර ඇතැයි ඔහු පෙන්වා දුන්නා.

මාධ්‍යවේදී  ලසන්ත වික්‍රමතුංග ඇතුළු පිරිසක් ඝාතනය කිරීම රාජපක්ෂවරුන්ගේ අවශ්‍යතාව මත නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලෙයාන් සිදු කළ බවට අසාද් මවුලානාගේ ප්‍රකාශයේ සඳහන් බව කියා සිටි ජනාධිපති නිතීඥවරයා අසාද් මවුලානා, අය පිල්ලේයාන්ගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කර තිබෙන බවද අධිකරණය හමුවේ පැවසුවේය.

ජනාධිපති නිතීඥවරයා කියා සිටියේ, එවැනි සැක සහිත කරුණු ඉදිරිපත් කරන පුද්ගලයෙකුගේ ප්‍රකාශ මත පදනම්ව සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම ප්‍රශ්න සහගත බවයි.