අදත් ප්‍රදේශ රැසකට විටින් විට වැසි....

අදත් ප්‍රදේශ රැසකට විටින් විට වැසි....

by Staff writer 04-07-2026 | 9:21 AM

COLOMBO(News1st) - බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40 - 50ක පමණ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර කල්පිටිය සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මුලතිව් සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා  මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55 - 65 දක්වා වැඩි විය හැකි බවත්  දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ මුලතිව් සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළුවිය හැකි බවයි.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකියි.