කතරගම පාදයාත්‍රාවට කුමන පිවිසුම 24දා දක්වා විවෘතයි

කතරගම පාද යාත්‍රාවට කුමන පිවිසුම 24දා දක්වා විවෘතයි, බැතිමතුන් සඳහා විශේෂ උපදෙස් මාලාවක්.

by Staff writer 10-07-2026 | 11:06 AM

COLOMBO(News1st) - කතරගම ඇසල පෙරහැර මංගල්‍යයට සමගාමිව පාද  යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන් සඳහා අද(10) සිට යාල ජාතික වනෝද්‍යානයේ කුමන පිවිසුම විවෘත කරන බව වන ජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, එළැඹෙන 24 වැනිදා දක්වා එම පිවිසුම විවෘතව තැබෙන බවයි.

ඒ අනුව උතුරේ සිට කතරගම දක්වා වන්දනාවේ පැමිණෙන බැතිමතුන්හට කුමන පිවිසුම ඔස්සේ කතරගමට ප්‍රවේශ විමේ හැකියාව ලැබෙනු ඇති.

මේ අතර  පාද චාරිකාව ඔස්සේ කතරගම වන්දනාවේ පැමිණෙන බැතිමතුන්හට විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කිරීමට වන ජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව පාද චාරිකාවේ පැමිණෙන බැතිමතුන් අවට පරිසරයට හානියක් නොවන සේ සහ අපද්‍රව්‍ය නිසි ආකාරයෙන් බැහැර කරමින් එම පාදචාරිකාවේ නිරත විය යුතු බව විශේෂ උපදෙස් මාලාවේ සඳහන් වේ.

එමෙන්ම පවතින වියළි කාලගුණය සැලකිල්ලට ගනිමින් පැමිණෙන බැතිමතුන් වන සතුන්ගෙන් ආරක්ෂා වී ගමන් කිරීමට පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවයි.