.webp)

මිය යන විට ඇගේ වයස, අවුරුදු 68ක්.
අවුරුදු හතේදී ගිටාරය සියතට ගත් ඇගේ උපන් නම, ෂෙරීන් මාගරට් ගුණතිලක.
1958 ජුනි 11 වැනිදා නුගේගොඩදී උපන් ශෙරීන්ට, පසුකාලීව මරියසෙල් යනුවෙන් නම් තබන්නේ තමුන්ගේ පුංචි දියණියගේ අසනීපයකට ඇගේ පියා වූ පොරොන්දුවක් ඉටු කරමින්.
එතැන් පටන් මරියසෙල් ගුණතිලක වූ ඇය, පුංචි සන්ධියේ පවුලේ කවුරුත් හැඳින්වුවේ, ඇවිදින ග්රැමෆෝන් තැටියක් කියලා.
ගීතයට එතරම්ම පෙම් බැඳි ඇය, ළමා ගායිකාවක ලෙස සිය සංගීත චාරිකාව ආරම්භ කරන්නේ, මිඩ්නයිට්ස් සංගීත කණ්ඩායමෙන්.
1970 දශකයේ ජනගත කළ 'කැන්ඩි ළමිස්සි' මරියසෙල්ගේ පළමු ගීතයයි.
කැන්ඩි ළමිස්සි, මරියසෙල්ගේ ජීවිතයට වසන්තය රැගෙන ආවේ, ඇය මෙරට ප්රසංග වේදිකාවට නැතුවම බැරි ශිල්පිනියක් බවට පත් කරමිනි.
කැලැරන්ස් විජේවර්ධනයන් ප්රමුඛ සුපර් ගෝල්ඩ්න් චයිම්ස් සංගීත කණ්ඩායම හා එක්වීම, ඇගේ සංගීත චාරිකාවේ සංධිස්ථානයක්.
ඇය ගායනා කළ පහන් නොවන රැයක, රහසයි සොඳුරු ජීවේ, යොවුන් සිහින ලෝකේ, සිහින නෙලුම් මල්, මුලු රැයක් පුරා වැනි ගීත අතිශය ජනාදරයට පත් විය.
වේග රිද්ම ගීත කලාව තුළ නම් දරා සිටි මරියසෙල් ගුණතිලක, ආදරණීය වස්සානය සිනමා පටය වෙනුවෙන් ගැයූ කුමරානනේ ගීතය, ඇය සතු ගායන කුසලතාව ලඝු කොට දැක්විය නොහැකි බවට කදිම සාක්ෂියකි.
සිංහල, ඉංග්රීසි ද්විභාෂා ගායන හැකියාවෙන් පිරි මෙරට අතළොස්සක් වූ ගායන ශිල්පිනියන් අතර සිය නාමය සනිටුහන් කළ ඇය, අද අලුයම දෙනෙත් පියා ගත්තේ, සදාතනික ගීතාවලියක් ඉතිරි කරමිනි.
