පාසල් සිසුන්ට අත්පා ආවරණ පැළඳීමට අවසර...

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා පාසල් සිසුන්ට අත්පා ආවරණ පැළඳීමට අවසර.

by Staff writer 12-07-2026 | 3:06 PM

COLOMBO(News1st) - මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා නිල ඇඳුමට අමතරව, අත් පා ආවරණයවන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට සිසුන්ට අවසර දෙන බව, අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් නාලක කළුවැව සඳහන් කළේ, පවතින ඩෙංගු අවධානම් තත්ත්වය සළකා බලා ගත් එම තීරණය පිළිබඳව සියලු විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බවයි.

අත් පා ආවරණය වන පරිදි වෙනත් සුදුසු ඇඳුමක් භාවිත කිරීමට අවසර දීමෙන් පාසල් සිසුන් අතර රෝගය පැතිරීම අවම කිරීමට අපේක්ෂා කරන බව, ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

රජයේ සහ රජයේ අනුමත සියලු පෞද්ගලික පාසල්වල මේ දිනවල ක්‍රියාත්මක මදුරු මුලාශ්‍ර විනාශ කිරීමේ විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහන්, ඉදිරියටත් මව්පියන්ගේ සහ ආදි සිසුන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන්නැයි විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ.

මේ අතර ඩෙංගු අධි අවදානම් කලාප 60ක් ආවරණය කරමින් හෙට(13) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ආරම්භ කරන බව, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ක්, ඒ අතරට ඇතුළත් වේ.

එම කලාප 23 පමණක් පසුගිය ඉරිදා සිට ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක විය.

ඒ, ජනාධිපති කාර්යාලය වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණයෙන්.