මීගමුව ගැටුමින් සිදුවු හානිය ගැන සොයන්න කමිටුවක්.

මීගමුව බන්ධනාගාරයේ ගැටුමින් සිදුවු හානිය ගැන සොයන්න කමිටුවක්.

by Staff writer 11-07-2026 | 2:43 PM

COLOMBO(News1st) - මීගමුව බන්ධනාගාරයේ හටගත් ගැටුමෙන් බන්ධනාගාර දේපලවලට සිදුවූ හානිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක, ඒ.සී.ගජනායක සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් එම විමර්ශනය ක්‍රියාත්මක බවයි.

මෙම කමිටුව මගින් ගැටුමට හේතුවූ කරුණු මෙන්ම ඉන් බන්ධනාගාර දේපලවලට සිදුවු හානිය පිළිබඳව සොයා බලනු ඇති.

ඒ.සී.ගජනායක පැවසුවේ, ගැටුම අවස්ථාවේ බන්ධනාගාර දේපල රැසකට හානි සිදුව ඇති බවයි.

රැඳවියන් ලියාපදිංචි කිරීමේ ලිපි ලේඛණ ඇතුළු ලේඛණ රැසක්ද විනාශ වී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

පසුගිය 6 වැනිදා ඇතිවූ එම ගැටුමෙන් බන්ධනාගාර නිළධාරින් 8 දෙනෙකු හා රැඳවියන් 21 දෙනෙකු මිය ගියේය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ අතර ගැටුමෙන් අනතුරුව එහි රඳවා සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත යොමුකිරීම තවදුරටත් සිදුවේ.

රැඳවියන් 2,400 ක් රඳවා තිබූ මීගමුව බන්ධනාගාරයේ දැනට රඳවා ඇත්තේ, රැඳවියන් 600 දෙනෙකුට අධික සංඛ්‍යාවක් පමණයි.