2026-07-14 දිනට අදාළ කැබිනට් තීරණ මෙන්න..

2026-07-14 දිනට අදාළ කැබිනට් තීරණ මෙන්න..

by Staff writer 14-07-2026 | 3:20 PM

COLOMBO (News 1st) - 01. 2026-2030 සඳහා මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සහ සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය මැඩපැවැත්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය

- මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය වැනි මූල්‍ය අපරාධ මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ ගෝලීය මූල්‍ය පද්ධතියට දැඩි තර්ජන එල්ල වී තිබේ. සීග්‍ර තාක්ෂණික දියුණුවත් සමඟ මූල්‍ය ගනුදෙනු වඩාත් සංකීර්ණ වී ඇති අතර, අපරාධකරුවන් අපරාධවලින් උත්පාදිත දෑ සැඟවීමට භාවිත කරනු ලබන ක්‍රම හඳුනා ගැනීම සහ ඒවා අවහිර කිරීම අභියෝගාත්මක කටයුත්තක් බවට පත් වී ඇත. එබැවින්, මූල්‍ය අපරාධ සම්බන්ධව කටයුතු කරනු ලබන අන්තර්රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදන ආයතනයක් වන, මූල්‍ය කාර්යසාධක බලකාය (Financial Action Task Force) විසින් නියම කර ඇති ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය අපරාධ පිළිබඳ ශ්‍රී ලංකාවේ තුන්වන ජාතික අවදානම ඇගයීම 2024/25 කාලපරිච්ඡේදය තුළ සිදු කරනු ලැබ තිබේ. එම ජාතික අවදානම ඇගයීමේදී හඳුනා ගනු ලැබ ඇති අවදානම් කළමනාකරණය කිරීම පිණිස "මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සහ සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය මැඩපැවැත්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය 2026-2030" සකස් කරනු ලැබ ඇත. ඒ අනුව, එකී ජාතික ප්‍රතිපත්තිය 2026-2030 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

02.පියැසිපාදක සූර්ය බලශක්තිය එක්කිරීමේ හා අතත්‍ය ශුද්ධ මනුකරණය පිළිබඳ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම 

ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින්ට සූර්ය බලශක්තිය ඵලදායී ලෙස භාවිත කිරීම සහ බෙදාහැරීම සඳහා විධිමත් විසඳුමක් ලබා දෙමින් කුඩා සහ මධ්‍ය පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වැඩිදියුණු කිරීම අරමුණු කර ගෙන ප්‍රමුඛතාව ලබා දිය යුතු ව්‍යාපෘතියක් ලෙස "පියැසිපාදක සූර්ය බලශක්තිය එක්කිරීමේ හා අතත්‍ය ශුද්ධ මනුකරණය පිළිබඳ ව්‍යාපෘතිය" හඳුනා ගනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය මූල්‍යනය කිරීම සම්බන්ධව ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් අදාළ නියෝජිතායතන සමඟ සම්මුති සාකච්ඡා සිදු කිරීම පිණිස 2025-11-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එකී තීරණය පරිදි, ආසියානු සංවර්ධන බැංකුව, යුරෝපා සංගමය සහ ඒකාබද්ධ ණය යාන්ත්‍රණය සඳහා වන ජපන් අරමුදල සමඟ අදාළ ණය සහ ප්‍රදාන ලබා ගැනීම පිණිස වන සාකච්ඡා මේ වන විට අවසන් කරනු ලැබ ඇත. එම සාකච්ඡාවලදී ඇති කර ගන්නා ලද එකඟතාව මත පදනම්ව සහ ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදලෙහි නියමනයන් හා කොන්දේසිවලට යටත්ව, ආසියානු සංවර්ධන බැංකුවේ සහනදායී සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 35ක ණය මුදලක්, යුරෝපා සංගමය වෙතින් යුරෝ මිලියන 15.4ක ප්‍රදානයක් සහ ඒකාබද්ධ ණය යාන්ත්‍රණය සඳහා වන ජපන් අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක ප්‍රදානයක් ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ ණය සහ ප්‍රදාන ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

03.බලශක්ති පිරිමැසුම්දායී ගොඩනැගිලි සඳහා වූ හවුල්කාරිත්ව වැඩසටහන

ජර්මානු ෆෙඩරල් ජනරජය සහ ශ්‍රී ලංකා ජනරජය අතර පවතින තාක්ෂණික සහයෝගිතාව සම්බන්ධයෙන් වූ මූලික ගිවිසුම ප්‍රකාරව ලබා දෙන මූල්‍ය ප්‍රදානයක් යටතේ මෙරට බලශක්ති පිරිමැසුම්දායී ගොඩනැගිලි සඳහා වූ හවුල්කාරිත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. එම වැඩසටහන ජර්මානු ෆෙඩරල් ජනරජයේ GIZ ආයතනය (Deutsche Gesellschaft für Internationale Zusammenarbeit GmbH) විසින් ක්‍රියාත්මක කිරීමට සහ බලශක්ති අමාත්‍යාංශය හා  සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් අධීක්ෂණය කරනු ලැබීමට නියමිතය. බලශක්ති පිරිමැසුම්දායී සහ විවිධ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන ගොඩනැගිලි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වන ප්‍රතිපත්ති, ආයතනික කාර්යරාමු හා තාක්ෂණික සහායන් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව වෙත සහාය වීම එම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. ඒ අනුව, යුරෝ 924,063ක (ශ්‍රී ලංකා රුපියල් මිලියන 314ක පමණ) සමස්ත මූල්‍ය ප්‍රදානයක් යටතේ එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශය, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ GIZ ආයතනයේ දේශීය නියෝජිත අතර ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් අත්සන් තැබීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

04. ජාතික පශු සම්පත් ප්‍රතිපත්තිය

2006 වසරේදී සකස් කරන ලදුව දැනට ක්‍රියාත්මකව පවතින ජාතික පශු සම්පත් ප්‍රතිපත්තිය, ගෝලීයව සහ දේශීයව සිදුව ඇති සමාජ හා ආර්ථික පරිවර්තනයන් හේතුවෙන් ආහාර සුරක්ෂිතතාව සහ පශු සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනය සම්බන්ධයෙන් පැන නැගී ඇති අභියෝග සැලකිල්ලට ගෙන යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, දේශීය විශේෂඥ උපදෙස් හා දැනුම ලබා ගනිමින් පෞද්ගලික අංශය මූලික කර ගත් සංවර්ධනය, වෙළෙඳපොළ ඉලක්ක කර ගත් තරගකාරි නිෂ්පාදනය, තිරසර සහ පරිසර හිතකාමී සංවර්ධනය, කුඩා පරිමාණ ගොවීන් සහ ග්‍රාමීය ජීවනෝපායන් සඳහා සහයවීම, විද්‍යාව සහ තාක්ෂණය මත පදනම් වූ සංවර්ධනය ආදී ක්ෂේත්‍ර ආවරණය කරමින් සකස් කරනු ලැබ ඇති ජාතික පශු සම්පත් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

05. බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ හතරවන කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීම සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීම

බහුආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක මුලපිරීම (BIMSTEC) යනු බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු ආසියාතික සහ නැගෙනහිර ආසියාතික රටවල් 07කින් සැදුම්ලත් කලාපීය සංවිධානයකි. බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් අතර ආර්ථික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම එම සංවිධානයේ ප්‍රමුඛ අරමුණ වේ. කෘෂිකර්මාන්තය බිම්ස්ටෙක් සාමාජික රටවල්වල රැකියා සඳහා මූලික මූලාශ්‍රයක් වීම සහ තිරසර සංවර්ධනය හා කලාපීය ආහාර සුරක්ෂිතතාව සඳහා කෘෂිකර්මාන්තය හා ඒ ආශ්‍රිත අංශවල වැදගත්කම සැලකිල්ලට ගෙන බිම්ස්ටෙක් සහයෝගිතාවයේ එක් අංශයක් ලෙස කෘෂිකර්මාන්තය එක් කරනු ලැබ තිබේ. ඒ යටතේ බිම්ස්ටෙක් කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීම සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ රැස්වීම වසර 02කට වරක් පවත්වනු ලබන අතර, එහි හතරවන රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට යෝජනා වී ඇත. ඒ අනුව, 2027 මාර්තු 17 සහ 18 යන දෙදින තුළ හතරවන බිම්ස්ටෙක් කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීම සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ රැස්වීම මෙරටදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

06. වරකාපොළ අතුරු මාර්ගයේ ඉදිකිරීම්වල ඉතිරි වැඩ නිම කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම

ජාතික මහාමාර්ග පුළුල් කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ වෙන් කර ඇති අරමුදල් උපයෝගී කර ගනිමින් වරකාපොළ අතුරු මාර්ගයේ (කිලෝමීටර 0+000 සිට කිලෝමීටර 2+320 දක්වා) ඉදිකිරීම් කටයුතුවල ඉතිරිව ඇති ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුව ලංසු කැඳවා ඇති අතර, ලංසු හයක් (06) ලැබී ඇත. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Maga Engineering (Pvt) Ltd වෙත රුපියල් බිලියන 4.99ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

07. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත් වන ගුවන් මගීන් රැඳී සිටීමේ පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීමේ ව්‍යාපෘතිය

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත් වන ගුවන් මගීන් රැඳී සිටින පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීම සඳහා වන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ පරීක්ෂා කිරීමේ කවුලු 36ක් සහ මගී පර්යන්තයේ සිට ගුවන්යානා වෙත පිවිසීමේ දොරටු හයක් (06) සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම පිණිස 2025-02-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ලංසු තුනක් (03) ලැබී තිබේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Maga Engineering (Pvt) Ltd. වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 7.26ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) සහ රුපියල් බිලියන 3.77ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

08. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, කාර්මික තාක්ෂණ ආයතනය සහ රුහුණ විශ්වවිද්‍යාලය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මධ්‍යගත ජෛව ස්කන්ධ අපද්‍රව්‍ය ශූන්‍ය කුරුඳු සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම

මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල කුඩා පරිමාණ වගාකරුවන් මූලික කර ගනිමින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකාවේ කුරුඳු කර්මාන්තය, ඉහළ සැකසුම් පිරිවැය, සනීපාරක්ෂක ප්‍රමිතීන් සහ ජෛව ස්කන්ධ අපද්‍රව්‍ය අවම වශයෙන් භාවිත කිරීම වැනි පොදු අභියෝග රැසකට අඛණ්ඩව මුහුණ දෙමින් සිටී. එම බාධාවන් සඳහා විසඳුමක් ලෙස කාර්මික තාක්ෂණ ආයතනය විසින් රුහුණ විශ්වවිද්‍යාලය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව නවීන මධ්‍යගත ජෛව ස්කන්ධ අපද්‍රව්‍ය ශූන්‍ය කුරුඳු සැකසුම් මධ්‍යස්ථානයක් (Centralized Zerowaste Biomass Cinnamon Processing Centre) රුහුණ විශ්වවිද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යාපීඨ ඉඩම් පරිශ්‍රයෙහි ස්ථාපිත කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය මාස 27ක කාලසීමාවක් තුළ අදියර හතරකින් යුත් සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, කාර්මික තාක්ෂණ ආයතනය සහ රුහුණ විශ්වවිද්‍යාලය අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස රුහුණ විශ්වවිද්‍යාලයේ මාපලාන කෘෂිවිද්‍යා පීඨ ඉඩම් පරිශ්‍රයෙහි යෝජිත මධ්‍යගත ජෛව ස්කන්ධ අපද්‍රව්‍ය ශූන්‍ය කුරුඳු සැකසුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම පිණිස විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

09. රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම

රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ ඒ.විජේසිංහ මහතා 2026-07-09 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් එම තනතුර පුරප්පාඩුව පවතී. දැනට එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි, ඉංජිනේරු එස්.එන්.බී.එම්.පද්මසිරි මහතා රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.