මීගමුව ගැටුමෙන් තවත් නිලධාරීන් දෙදෙනෙකු මියයයි.

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් තවත් නිලධාරින් දෙදෙනෙකු මරුට.

by Staff writer 14-07-2026 | 9:18 AM

COLOMBO(News1st) - මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මියගොස් තිබේ. 

මෙලෙස මියගොස් ඇත්තේ 25 සහ 39 යන වයස්වල පසුවන බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකි. ඒ අනුව, එම සිද්ධියෙන් මියගිය සමස්ත බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇත. මීට අමතරව, සිද්ධියෙන් රැඳවියන් 21 දෙනෙකු මියගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලැබූහ.

මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ රැඳවියන් දෙපිරිසක් අතර මීගමුව බන්ධනාගාරයේ ඇති වූ මෙම ගැටුම පිළිබඳ විමර්ශන පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) කණ්ඩායම් 05ක් යොදවා තිබේ. පොලිසිය පැවසුවේ, රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් 150කට ආසන්න පිරිසකගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. මීගමුව බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවූ රැඳවියන්ගෙන් ද ඉදිරියේදී ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

සිද්ධියට පෙර මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි සමස්ත රැඳවියන් සංඛ්‍යාව 2,400ක් විය. පසුගියදා ඇති වූ සිද්ධියෙන් පසු රැඳවියන් වැඩි පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර ඇති අතර, දැනට මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින්නේ රැඳවියන් 600ක් පමණක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් ද ඉදිරියේදී වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට නියමිතය. එසේම, පවතින ආරක්ෂක තත්ත්වය මත දැනට එම රැඳවියන් බැලීම සඳහා ඥාතීන්ට අවස්ථාව ලබා නොදෙන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.