ඇමරිකාවේ ගුවන් අනතුරකින් 5 දෙනෙකු මරුට...

ඇමරිකාවේ ගුවන් අනතුරකින් 5 දෙනෙකු මරුට මයෑමි ගුවන්තොටුපොළේ කටයුතු තාවකාලිකව අත්හිටුවයි...

by Staff writer 07-09-2026 | 6:54 AM

COLOMBO (News 1st) - ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මයෑමි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙරට වේලාවෙන් ඊයේ (06) රාත්‍රී 11යි 30ට පමණ අදාළ ගුවන් යානය ගොඩබැස්වීමේදී එම අනතුර සිදුව ඇති බවයි.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ Amazon සමාගමට අයත් Boeing 767 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි.

පුවෙටෝ රිකෝ සිට පැමිණි අදාළ ගුවන් යානය ගොඩබැස්වූ අවස්ථාවේදී එය ධාවන පථයේ පැයට කිලෝමීටර 200ක පමණ වේගයකින් ගමන් කර ඇති බවත්,, පසුව ධාවන පථයෙන් පිටතට පැන අසල නවතා තිබූ මෝටර් රථවල ගැටී නැවතී ඇති බවත් විදෙස් වාර්තා වල සඳහන්.

එම අවස්ථාවේ යානය ගිනි ගැනීමකට ලක්ව ඇති අතර ජෙට් ඉන්ධන කාන්දුවක්ද සිදුව තිබේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති නමුත් අනතුර සිදුවන විට මයෑමි ආශ්‍රිතව දැඩි සුළං සහිත වර්ෂාවක් පැවති බව විදෙස් වාර්තාවල සඳහන්.

මේ අතර අනතුරින් පසු ඇමරිකානු ගුවන් සේවා පරිපාලන ආයතනය ගුවන් තොටුපොළේ ගුවන් ගමන් අත්හිටුවීමටද කටයුතු කළේ ය.

තුවාල ලැබූ තවත් පස් දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ගිනි නිවීමේ භටයින් ඇතුළු සහන සේවකයින් 200ක් පමණ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා තිබේ.