දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය වැරදි ඉලක්කයක් - පොලීසිය

දරු දෙදෙනෙකුට මරු කැඳවූ දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය වැරදි ඉලක්කයක් ⁠- පොලීසියෙන් අනාවරණයක්

by Staff writer 11-09-2026 | 8:40 AM

COLOMBO(News1st) - දෙහිවල අත්බොම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ වැරදි ඉලක්කයකට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු වුට්ලර් පවසයි.

ඔහු සඳහන් කළේ, බඩෝවිට අසංක නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ පාර්ශවයේ මත්කුඩු බෙදා හරින පුද්ගලයාගේ නිවස ප්‍රහාරයේ ඉලක්කය වී ඇති බවයි

එහෙත් අත්බොම්බ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි පුද්ගලයින්ට වැරදීමකින් එය යාබදව පිහිටි නිවසට  එල්ල කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

බඩෝවිට අසංකගේ පාර්ශව සහ කොස් මල්ලිගේ පාර්ශවය අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස පළි ගැනීමට මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

දෙහිවල සිරිසඟබෝ මාවතේ නිවසකට අද(11) අළුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු.වුට්ලර් සඳහන් කළේ 11 සහ 17 හැවිරිදි ළමුන් දෙදෙනෙකු මියගොස් ඇති බවයි.

ප්‍රහාරයෙන් 55 හැවිරිදි ළමුන්ගේ පියා ද තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය සඳහන් කළේ, අද(11) අලුයම 3.20ට පමණ අත්බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.