තෙදින නිල සංචාරය අරඹමින් චීන ජනපති ඇමරිකාවට...

තෙදින නිල සංචාරය අරඹමින් චීන ජනපති ඇමරිකාවට, ජනපති ට්‍රම්ප්ගෙන් උණුසුම් පිළිගැනීමක්...

by Staff writer 24-09-2026 | 7:25 AM

COLOMBO (News 1st) - චීන ජනාධිපති ෂී ජින්ග් පින්ග් සහ ජනාධිපති ආර්යා පන්ග් ලීවැන් අද (24) අලුයම ඇමරිකාවට පැමිණියහ.

ඒ තුන් දින නිල රාජ්‍ය සංචාරයක් වෙනුවෙනි.

අද මෙරට වේලාවෙන් අලුයම 3ට පමණ ඔවුන් රැගත් ගුවන් යානය ඇමරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ ඇන්ඩෘස් ගුවන් හමුදා කඳවුරට ළඟා විය.

චීන යුවල පිළිගැනීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ආර්යාව වන මෙලානියා ට්‍රම්ප්ද ගුවන් කඳවුරට පැමිණ සිටි අතර ඇමරිකානු ජනාධිපතිවරයෙකු එලෙස ඇන්ඩෘස් කඳවුරේදී විදෙස් රාජ්‍ය නායකයෙකු පිළිගෙන ඇත්තේ වසර 62කට පසුවයි.

අඩි 100ක පමණ දැවැන්ත රතු පලස මතින් රාජ්‍ය නායකයින් දෙදෙනා සහ ඔවුන්ගේ ආර්යාවන් ඇවිද යන අවස්ථාවේදී ඊට ඉහළ අහසේ ඇමරිකානු ගුවන් හමුදාවට අයත් බී වන් බෝම්බ ප්‍රහාරක යානා පියාසර කිරීම කාගේත් අවධානයට ලක්වුණා.

මීට පෙර 2023 වසරේදී චීන ජනාධිපතිවරයා ඇමරිකාවට පැමිණ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ පැවති එපැක් සමුළුව අතරතුරදී ජෝ බයිඩන් ජනාධිපතිවරයා හමුවුවද, චීන ජනාධිපතිවරයාගේ නිල ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සිදුවන්නේ වසර 11කට පසුවයි.

පසුගිය මැයි මාසයේ චීනයේ නිල සංචාරයක නිරත වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ආරාධනයක් මත අද චීන ජනාධිපතිවරයා ඇමරිකාවට පැමිණියේ ය.

සංචාරයේ දෙවැනි දිනයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන මෙලානියා ට්‍රම්ප්, චීන ජනපති සහ ඔහුගේ බිරිඳ ධවල මන්දිරයේදී නිල වශයෙන් පිළිගැනීමට නියමිතයි.

ඉන් අනතුරුව ධවල මන්දිරයේ රෝස් උද්‍යානයේ පැවැත්වෙන හමුදා ආචාර දැක්වීමකින් පසු රාජ්‍ය නායකයින් දෙදෙනා ද්වි පාර්ශ්වික සාකච්ඡා සඳහා එක්වනු ඇත.

දිනය අවසන් වන්නේ රාත්‍රී භෝජන සංග්‍රහයකිනි.

ඊට දෙරටේ රජයේ නිලධාරීන් මෙන්ම තාක්ෂණ ක්ෂේත්‍රයේ නියෝජිතයින්ද එක්වනු ඇත.

සංචාරයේ තුන්වැනි සහ අවසන් දිනයේදී චීන ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ, ට්‍රම්ප් යුවල සමග උදෑසන තේ පැන් සංග්‍රහයකට එක්වීමට නියමිතයි.

පසුව ඔවුන් වොෂින්ටන් නුවර පිහිටි ඇමරිකාවේ ජාතික ලේඛනාගාරය බලා යන අතර, එහිදී ඇමරිකාවේ නිදහස් ප්‍රකාශනය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැනි සංරක්ෂණය කර ඇති ලේඛන නරඹනු ඇති.

අනතුරුව සංචාරය නිම කරමින් චීන ජනාධිපතිවරයා සහ බිරිඳ ඇන්ඩෘස් ගුවන් කඳවුරෙන්ම යළි චීනය බලා පිටව යාමට නියමිතයි.

චීන ජනාධිපතිවරයා මේ දිනවල නිව්යෝක් නුවර පැවැත්වෙන 81වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී නොවී, වොෂින්ටන් නුවර රැදී සිටිමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවල නිරත වීමට තීරණය කර තිබීමත් විශේෂත්වයකි.

ෂී ජින්ග් පින්ග් මහා මණ්ඩල සැසිවාරයේ විවාදයට පැමිණ දේශනයක් සිදුකර ඇත්තේ 2015 වසරේදී පමණයි.  

මෙවර සංචාරය අතරතුර චීන සහ ඇමරිකානු රාජ්‍ය නායකයින් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

දෙරට අතර වෙළෙඳ ගනුදෙනු සහ තීරු බදු, ඉරාන අර්බුධය, රුසියානු යුක්‍රේ යුද්ධය, තායිවානය මෙන්ම කෘතීම බුද්ධිය ඇතුළු තාක්ෂණ කේෂ්ත්‍රය පිළිබඳවද ඔවුන්ගේ අවධානය යොමු වනු ඇත.

73 හැවිරිදි ෂී ජින්ග් පින්ග්, 2012 වසරේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ලෙස පත්වූ අතර පසුව 2013 වසරේදී එරට නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.