බන්ධනාගාරගත කෙරුණු ශිරන්ති, වැලිකඩ කාන්තා අංශයට...

බන්ධනාගාරගත කෙරුණු ශිරන්ති, වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට....

by Staff writer 08-10-2026 | 7:41 AM

COLOMBO (News 1st) - අධිකරණ නියෝගයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ශිරන්ති රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ඒ, ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (07)පස්වරුවේ ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

එමෙන්ම සැකකාරිය අද (08) පස්වරු 12.30ට කොළඹ පෞද්ගලික රෝහලක සුපුරුදු වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීමටද බන්ධනාගාර අධිකාරිවයාට අධිකරණය නියෝග කළේ ය.

රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ 100 ක් ලබා ගෙන සාවද්‍ය පරිහරණයෙන් දූෂණය හා පොදු දේපළ පනත යටතේ වැරදි සිදු කළ බවට චෝදනා නගමින් ඊයේ පෙරවරුවේ ශිරන්ති රාජපක්ෂව අත්අඩංගුවට ගැණින.

මේ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය බැංකු සභාපතිවරයෙකු වූ ප්‍රදීප් කාරියවසම් ඇප මත මුදා හැරීමට ද අධිකරණය නියෝග කළේ ය.

සිරිලිය සවිය සංවිධානය හරහා රිජ්ජවේ ආර්යා ළමා රෝහල වෙත  CT ස්කෑනර් යන්ත්‍රයක් ලබාදීමට අවශ්‍ය බව පවසමින්,  රුපියල් මිලියන 10ක මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගෙන අදාළ යන්ත්‍රය රෝහලට ලබා නොදී එම මුදල් සිය පුද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් රජයේ මුදල් සාපරාධී ‍සාවද්‍ය පරිහරණය කර ඇති බවට චෝදනා කරමින් සැකකාර ශිරන්ති රාජපක්ෂ ඊයේ පෙරවරුවේ අත්අඩංගුවට ගැණින.

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ ස්වාමි පුරුෂයා වන රාජ්‍ය බැංකුවක හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් අත්අඩංගුවට ගැණුණේ  අදාළ මුදල් නිසි ක්‍රියාපටිපාටියෙන් බැහැරව සිරිලිය ගිණුමට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.