නිල්වලා ගඟ සුළු ගංවතුර මට්ටමට, ප්‍රදේශ රැසකට වැසි

නිල්වලා ගඟ සුළු ගංවතුර මට්ටමට, ප්‍රදේශ රැසකට වැසි

by Staff writer 16-10-2026 | 7:19 AM

COLOMBO(News1st) - අධික වර්ෂාවත් සමග නිල්වලා ගඟ  පානඳුගමින් සහ තල්ගහගොඩින් සුළු ගංවතුර මට්ටමට ළගා වී තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අකුරැස්ස, අතුරලිය, මාළිම්බොඩ, කඹුරුපිටිය, තිහගොඩ සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ අවට පහත්බිම්වලට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි

පවතින අධික වැසි හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතය දිස්ත්‍රික්ක 10 කට, අදියර එක සහ දෙක යටතේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි.

කෑගල්ල , මාතලේ , කුරුණෑගල , නුවරඑළිය , රත්නපුර , ගම්පහ , හම්බන්තොට , කළුතර , මහනුවර සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත් වේ.

මේ අතර, උතුර, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් අද(16) මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු පිළිබඳ නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලාත්මකයි.

ඒ අනූව උතුරුමැද , නැගෙනහිර , මධ්‍යම , සබරගමුව සහ ඌව පළාත්වල මෙන්ම කිලිනොච්චිය , මුලතිව් , වව්නියා , ගම්පහ , කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු ඇති විය හැකියි.