අඩු පීඩන කලාපය,පීඩන අවපාතයකට: ප්‍රදේශ රැසකට වැසි

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය, අද පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු.... නිරිත දිග ප්‍රදේශවලට තවදුරටත් තද වැසි.

by Staff writer 24-10-2026 | 7:26 AM

COLOMBO(News1st) - උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පැවති අඩු පීඩන කලාපය, අද(24) පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී, හෙට වන විට ගැඹුරු පීඩන අවපාතයක් වනු ඇති.

26 වැනිදා උදෑසන වන විට බෙංගාල බොක්කේ බටහිර මධ්‍යම ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් බවට පත්වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින අතර

එහි සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද, සුළං ප්‍රවාහය හේතුවෙන් නිරිතදිග ප්‍රදේශවල වැසි වැඩි විය හැකියි.

ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, උතුර සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ද, පස්වරු 1 න් පසු වැසි ඇති විය හැකියි.

කන්සන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 60 - 70 ත් දක්වා ඉහළ යා හැකියි.

ධීවර දෙපාර්තමේන්තුව, ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිත උතුරු අක්ෂාංශ 10න් ඉහළ මුහුදු කලාපයේ යාත්‍රා නොකරන ලෙසයි.  

කෑගල්ල, රත්නපුර , බදුල්ල , කොළඹ , කළුතර , මහනුවර , කුරුණෑගල , මොණරාගල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කළ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකයි.