රටවල් 14කට ට්‍රම්ප්ගෙන් නව තීරුබදු යෝජනාවක්!

රටවල් 14කට ට්‍රම්ප්ගෙන් නව තීරුබදු යෝජනාවක්!

by Janitha Mendis 25-11-2026 | 7:55 PM

COLOMBO(News1st) - රටවල් 14කට ට්‍රම්ප්ගෙන් නව තීරුබදු යෝජනාවක්!

චීනය, ඉන්දියාව, බංග්ලාදේශය සහ වියට්නාමයත් ඒ අතර, ශ්‍රී ලංකාව රටවල් 14 ලැයිස්තුවේ නැහැ!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් 14කින් ආනයනය කරන භාණ්ඩ සඳහා නව තීරුබදු පැනවීමට යෝජනා කර තිබෙනවා.

ඇමරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් සිදු කළ විමර්ශනයකින් අනතුරුව මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, අධික කාර්මික නිෂ්පාදන ධාරිතාව සහ සහනාධාර මත පදනම් වූ නිෂ්පාදන හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළට අඩු මිලට භාණ්ඩ විශාල වශයෙන් නිකුත් වීම ඊට හේතුව ලෙස ඇමරිකාව පෙන්වා දෙයි.

තීරුබදු යෝජනාවට ඇතුළත් රටවල් 14

මෙම යෝජනාවට ඇතුළත් රටවල් සහ ආර්ථිකයන් වන්නේ,

1. චීනය
2. බංග්ලාදේශය
3. කාම්බෝජය
4. යුරෝපා සංගමය
5. ඉන්දියාව
6. ඉන්දුනීසියාව
7. ජපානය
8. දකුණු කොරියාව
9. මැලේසියාව
10. සිංගප්පූරුව
11. ස්විට්සර්ලන්තය
12. තායිවානය
13. තායිලන්තය
14. වියට්නාමය

චීනය සඳහා සියයට 20ක අමතර තීරුබදු අනුපාතයක් යෝජනා කර ඇති අතර, අනෙකුත් රටවල් සඳහා අදාළ වන අනුපාත ඒ ඒ රටවල් සමඟ පවතින වෙළෙඳ ගිවිසුම් සහ කොන්දේසි අනුව වෙනස් වේ.

ශ්‍රී ලංකාවට බලපාන තත්ත්වය

මෙම නව තීරුබදු යෝජනාවට ශ්‍රී ලංකාව ඇතුළත් කර නොතිබීම විශේෂත්වයකි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර අපනයන වෙළෙඳපොළේ තරග කරන බංග්ලාදේශය සහ වියට්නාමය වැනි රටවල් මෙම යෝජනාවට ඇතුළත් වී තිබේ.

ඇඟලුම් කර්මාන්තය ඇතුළු අපනයන ක්ෂේත්‍ර කිහිපයකදී ශ්‍රී ලංකාව සමඟ තරගකාරීත්වයක් පවත්වන එම රටවල නිෂ්පාදන සඳහා අමතර තීරුබදු පැනවීමක් සිදුවුවහොත්, ඇමරිකානු වෙළෙඳපොළ තුළ ඔවුන්ගේ තරගකාරීත්වයට බලපෑම් එල්ල විය හැකිය.

එවැනි පසුබිමක ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට, විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයට, නව වෙළෙඳ අවස්ථා උදාකර ගැනීමට යම් ඉඩකඩක් නිර්මාණය විය හැකිය.

තීරුබදු ක්‍රියාත්මක වන්නේ කවදාද?

මෙම යෝජනා සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ සහ ඉදිරි නිල ක්‍රියාපටිපාටි සිදුකිරීමට නියමිත අතර, ඒ අනුව තීරුබදු ක්‍රියාත්මක කිරීම ලබන ජනවාරි මාසය දක්වා ප්‍රමාද විය හැකි බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.