ක්‍රිකට් නිලවරණය ගැන එකඟතාවක්..

ක්‍රිකට් නිලවරණය පැරණි රෙගුලාසිවලට අනුව පැවැත්වීමට එකඟතාවක්..

by Staff writer 15-05-2023 | 5:36 PM

COLOMBO (News 1st) - ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රිකට් ක්‍රීඩාව හා අනෙකුත් ක්‍රීඩා සම්බන්ධයෙන්, 2022 දෙසැම්බර් 14 වැනි දිනට පෙර පනවා තිබූ පැරණි රෙගුලාසිවලට අනුව, මෙවර ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟවී තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රීඩාව සම්බන්ධයෙන් 2022 දෙසැම්බර් 14 වැනි දින පැනවූ නව රෙගුලාසිවලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ රිට් පෙත්සමට අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (15) විභාගයට ගත් අවස්ථාවේදී මෙම තීරණයට එළැඹ ඇත.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාව සම්බන්ධයෙන්  2022 දෙසැම්බර් 14 වැනි දින පැනවූ  නව රෙගුලාසි ලබන අගෝස්තු මාසයේ සිට බලාත්මක වනු ඇති. 

මේ අනුව පැරණි රෙගුලාසිවලට අනුව ඉදිරි ක්‍රිකට් නිලවරණය පැවැත්වීමටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ක්‍රීඩා අමාත්‍යාංශයට එරෙහිව පැවරූ අනෙකුත් නඩු ඉවත් කර ගැනීමටත් දෙපාර්ශවය එකඟ වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මේ මස 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.