කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියාවෙ අවසන් පූර්ව වටයට.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අසියානු කුසලාන ක්‍රීකට් අවසන් පූර්ව වටයට

by Staff writer 24-07-2024 | 10:02 PM

COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට අද (24) සුදුසුකම් ලබා ගත්හ.

ඒ, තරගාවලියේ සහභාගී වූ තුන් වැනි තරගය ද ජය ගනිමිනි.

තායිලන්තයට එරෙහිව පැවැති මෙම තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ කඩුලු 10කිනි.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගය ආරම්භ වුණි.

පළමුව පන්දුවට පහරදීමට කාසියේ වාසිය හිමි කරගත් තායිලන්ත කණ්ඩායම තීරණය කළේ ය.

ඔවුන්ගේ පළමු කඩුළු 2 ලකුණු 16ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණි.

කවීෂා දිල්හාරි ලකුණු 13ට කඩුළු 2කි.

තායිලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ නැනපත් කොන්චරූන්කායි නොදැවී ලකුණු 47ක් රැස් කළා ය.

තායිලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 93කි.

නායක චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න ලකුණු 94ක ඉලක්කයකින් ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළෝ ය.

ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන ලදි.

තායිලන්ත පන්දු යවන්නියන් කිසිදු කඩුල්ලක් ලබා නොදෙමින් ඔවුන් දෙදෙනා නියමිත ඉලක්කය පසු කළේ පන්දුවාර 11යි පන්දු 3ක් පමණක් වැය කරමිනි.

චමරි අතපත්තු නොදැවී ලකුණු 49ක් රැස් කළා ය.

විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 39කි.