එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට..

ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට..

by Staff writer 11-02-2024 | 10:33 PM

COLOMBO (News 1st) - තරගයක් ඉතිරිව තිබියදීම සංචාරක ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ, අද පැවැති දෙවැනි තරගය ලකුණු 155කින් ජය ගනිමිනි.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ අවිශ්ක ප්‍රනාන්දු සහ පැතුම් නිස්සංක.

පළමු තරගයේ ද්විත්ව ශතකලාභී පැතුම් නිස්සංක අද පළමු කඩුල්ල ලෙස ලකුණු 18කට දැවී ගියේ ය.

අවිශ්ක ප්‍රනාන්දුටත් රැස් කිරීමට හැකිවූයේ ලකුණු 5ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් එක් කළේ නායක කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රම ලකුණු 103ක සබඳතාවයක් පිහිටුවිය.

කුසල් මෙන්ඩිස් 28වැනි එක්දින අර්ධ ශතකය සමග ලකුණු 61යි.

සදීර සදරවික්‍රම ලකුණු 52ක් රැස් කළේ ය.

පස්වැනි කඩුල්ලට පිටියේ එක් වූ ජනිත් ලියනගේ සහ චරිත් අසලංක ගොඩනැගූ සබදතාවය ලකුණු 111කි.

ජනිත් ලියනගේ ලකුණු 50යි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමග නොදැවී ලකුණු 97ක් රැස් කළේ ය.

ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 308කි.

ඇෆ්ගනිස්ථාන පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ලෙස රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 8කට දැවී ගියේ ය.

රහ්මට් ෂා සහ ඊබ්‍රාහීම් සද්රාන් දෙවැනි කඩුල්ලට ලකුණු 97ක සබඳතාවයක් ගොඩනැගුවේ ය.

සද්රාන් ලකුණු 54කට දැවී ගියේ අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේයි.

රහ්මට් ෂා ලකුණු 63කට දැවී ගියේ ය.

එතැන් සිට ඇෆ්ගනිස්ථාන එකුදු පිතිකරුවෙක්වවත් ලකුණු 10 සීමාව පසු කර යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග ලකුණු 27ට කඩුළු 4ක් බිද හෙළුවේ ය.

ඩිල්ෂාන් මධුෂංක සහ අසිත ප්‍රනාන්දු අතරේ කඩුළු 2 බැගින් බෙදී ගියේ ය.

ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 33යි පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුනු 153ක් පමණි.

ඒ අනුව ලකුණු 155කින් මෙම තරගය ජය ගත් ශ්‍රී ලංකාව තරගයක් ඉතිරිව තිබියදීම තරග 2ට 0ක් ලෙස තරගාවලියේ ජය තහවුරු කර ගත්තේ ය.

ශ්‍රී ලංකාව එක්දින තරග ඉතිහාසයේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව වැඩිම ලකුණු පරතරයකින් ජය ගත් තරගයද මෙය වනු ඇත.