ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද ආසියානු තරග බිමට..

ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් අද මැලේසියාවට එරෙහිව ආසියානු තරග බිමට..

by Staff writer 22-07-2024 | 7:15 AM

COLOMBO (News 1st) 2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වෙන තවත් තරගයක් අද (22) පැවැත්වේ. 

ඒ, මලයාසියාව සමගයි. 

රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය අද පස්වරු 2.00ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. 

මේ අතර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ නේපාලය සමග පැවති තරගය පකිස්ථානය කඩුලු 9කින් ජය ගත්තාය. 

තරගාවලියේ ඒ කාණ්ඩයේ තරගයක් වූ මෙය රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විය. 

එහි කාසියේ වාසිය ජය ගත් පකිස්ථාන ක්‍රීඩිකාවන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. 

ඒ අනුව පන්දුවට පහර දුන් නේපාල කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 108කි. 

කබිතා ජෝෂි නොදැවී ලකුණු 31ක් රැස් කළාය.

පකිස්ථාන පිළිතුරු ඉනිම ආරම්භ කළේ ගුල් ෆෙරෝසා සමගින් මුනිබා අලී. 

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 105කි. 

ගුල් ෆෙරෝසා ලකුණු හතරේ පහර 10ක් සමගින් ලකුණු 57ක් රැස් කළා ය. 

මුනිබා අලී නොදැවී ලකුණු 46යි.

ඒ අනුව ලකුණු 109ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථාන ක්‍රීඩිකාවන් පන්දුවාර 11යි පන්දු 5ක් තුළ කඩුල්ලක් පමණක් දැවී සිටියදී තරගය ජය ගෙන තිබේ.