ජනතාවට කොළඹ එන්න අදත් විශේෂ ප්‍රවාහන සේවා

අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ එන්න අදත් විශේෂ ප්‍රවාහන සේවා

by Staff writer 16-04-2024 | 6:17 AM

COLOMBO (News 1st) - අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාව දීර්ඝ නිවාඩුවකින් පසු නැවත කොළඹට පැමිණෙමින් සිටි.

ඒ වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අදත් (16) ක්‍රියාත්මකයි.

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට පැමිණීම සඳහා හෙට (17) දක්වා විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ, පෞද්ගලික බස් රථ 25% ක් පමණ ඊයේ (15) ධාවනයට එක් කළ බවයි.

අද ඊට වැඩි බස්රථ සංඛ්‍යාවක් ධාවනය එක් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ ය. 

මේ අතර ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ පැමිණීම සඳහා අතිරේක දුම්රිය 12ක් ධාවනයට එක් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

බදුල්ල, බෙලිඅත්ත සහ ගාල්ල සිට එම දුම්රිය කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතය. 

අධික මගී ඉල්ලුම සැලකිල්ලට ගෙන කොළඹ සිට බදුල්ල සහ ගාල්ල දක්වාත්, අමතර දුම්රිය යෙදවීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.