29 වැනි වරටත් එවරස්ට් තරණය කළ විශ්මිත මිනිසා

තමන්ගේම වාර්තාව අභිබවමින් 29 වැනි වරටත් එවරස්ට් තරණය කළ 54 හැවිරිදි විශ්මිත මිනිසා

by Chathurika Jayasundara 14-05-2024 | 2:42 PM

COLOMBO (News 1st) - වැඩිම වාර ගණනක් එවරස්ට් කන්ද තරණය කළ පුද්ගලයා ලෙස නේපාලයේ කමි රිටා(Kami Rita) වාර්තා පොතට එක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කඳු නඟින්නන්ට මඟ පෙන්වන්නකු ලෙස කටයුතු කරන රිටා මෙවර එවරස්ට් කඳු මුදුනට ළඟා වී ඇත්තේ 29වැනි වරටයි

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කමි රිටා මෙමගින් තමා විසින් පිහිටුවා තිබූ වාර්තාවක් යළිත් වරක් අලුත් කිරීමට සමත් වූ බවයි

ලොව උසම ස්ථානය වන එවරට් කන්ද මීටර් 8,849 ක උසකින් යුත්ත වේ.

54 හැවිරිදි වියේ පසුවන කමි රිටා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

ඔහු පළමුවරට එවරස්ට් තරණය ආරම්භ කර ඇත්තේ, 1994 දී වන අතර එතැන් සිට සෑම වසරකම එවරස්ට් තරණය කර තිබේ.

කමි රිටා කා අතරත් ජනප්‍රිය වී සිටින්නේ, 'එවරස්ට් මිනිසා' යන අන්වර්ථ නාමයෙනි.

රීටාට පෙර එවරස්ට් කන්ද වැඩිම වාර ගණනක් තරණය කර තිබුණේ පසන්ග් දාවා(Pasang Dawa)  විසිනි.

ඔහු 27ත් වතාවක් එවරස්ට් තරණය කර ඇත.
  
එවරස්ට් කන්ද තරණය කිරීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන අතර කන්ද තරණයට ගොස් මිනිසුන් මරණයට පත්වූ අවස්ථාවද බොහොමයි.

පසුගිය වසරේ 600කට වැඩි පිරිසක් එවරස්ට් කඳු මුදුනට ගොස් ඇති නමුත් ඉන් 18 දෙනෙකුම දැඩි සීතල හා අධික හිමපතනය නිසා  මරණයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ හේතුවෙන් 54 හැවිරිදි කමි රිටාගේ 29 වැනි එවරස්ට් තරණය විශේෂත්වයකි.
 
විදේශීය කඳු නගින්නන් සඳහා අත්‍යවශ්‍ය මාර්ගෝපදේශකයෙකු ලෙස කමි රිටා කා අතරත් ගෞරවයක් හිමිකරගෙන සිටී