බංග්ලාදේශයට එරෙහිව දකුණු අප්‍රිකාවට තියුණු ජයක්..

බංග්ලාදේශයට එරෙහිව දකුණු අප්‍රිකාවට තියුණු ජයක්..

by Staff writer 11-06-2024 | 6:48 AM

COLOMBO (News 1st) - 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගය දකුණු අප්‍රිකාව ලකුණු 4කින් ජය ගෙන තිබේ.

තරගාවලියේ ඩී කාණ්ඩයේ තරගයක් වූ මෙය නිව් යෝර්ක්හි නාසා කවුන්ටි ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

එහි කාසියේ වාසිය හිමි කර ගත් දකුණු අප්‍රිකා කණ්ඩායම තීරණය කළේ, පළමුව පන්දුවට පහර දීමටයි.

ඒ අනුව රීසා හෙන්රික්ස් සමගන් ක්වින්ටන් ඩී කොක් දකුණු අප්‍රිකා ඉනිම ආරම්භ කළේ ය.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 11කට සීමා කරමින් රීසා හෙන්රික්ස් ලකුණු නොලබා දැවී ගියේ ය.

ක්වින්ටන් ඩී කොක් ලකුණු 18යි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ හෙන්රික් ක්ලාසන් හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 46ක් රැස් කළේ ය.

ඩේවිඩ් මිලර් ලකුණු 29යි.

ටන්සිම් හසන් සකිබ් කඩුලු 3ක් දවා ගෙන තිබේ.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 113කි.

එය පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගයකදී දකුණු අප්‍රිකාව රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාවයි. 

බංග්ලාදේශ පිළිතුරු ඉනිමේ මුල් පෙළ කඩුලු 4 ලකුණු 50කදී බිඳ වැටුණි.

අනතුරුව පිටියේ එක්වූ මහ්මදුල්ලා සහ තව්හිද් හිරිඩෝයි පස්වැනි කඩුල්ලට ලකුණු 44ක සබඳතාවයක් එක් කළද ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් වුණේ නැත.

තව්හිද් හිරිඩෝයි ලකුණු 37ක් රැස් කළේ ය.

මහ්මදුල්ලා ලකුණු 20යි.

කේශව් මහරාජ් කඩුලු 3ක් දවා ගෙන තිබේ.

ඒ අනුව ලකුණු 114ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 109ක් පමණි.