බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂය පාලන බලය දිනාගන්නා ලකුණ

වසර 14කට පසු බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂය පාලන බලය දිනාගන්නා ලකුණු...

by Staff writer 05-07-2024 | 8:20 AM

COLOMBO (News 1st) - 

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීම මේ වනවිට ආරම්භ වී තිබේ.  

බීබීසී පුවත් සේවය පවසන්නේ, බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය මෙවර මහ මැතිවරණයේ විශිෂ්ට ජයක් වාර්තා කරනු ඇති බවයි.

සමීක්ෂණයක් උපුටා දක්වමින් BBC පුවත්  සේවය පෙන්වා දෙන්නේ, කම්කරු පක්ෂය ආසන 650න් ආසන 410ක් දිනා ගනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව වසර 14ක් බ්‍රිතාන්‍ය පාලනය කළ කන්සර්වටිව් පක්ෂය පරදවමින් කම්කරු පක්ෂය බ්‍රිතාන්‍යයේ පාලන බලය හිමි කර ගනු ඇති.

නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමේ වැඩි වාසි ඇති, කම්කරු පක්ෂයේ නායක 61 හැවිරිදි කියර් ස්ටාමර් 2020 වසරේ සිට එරට විපක්ෂ නායක ලෙස කටයුතු කළේ ය.

2014 වසරේදී කියර් ස්ටාමර් බ්‍රිතාන්‍යයේ නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලෙස සිදුකළ කාර්යභාරය අගයමින් ඔහුට නයිට් පදවියක්ද හිමිවිය.

වත්මන් අග්‍රාමාත්‍ය රිශී සුනක් ප්‍රමුඛ කන්සර්වටිව් පක්ෂය ආසන 131ක් හිමිකරගනු ඇති බව විදෙස් වාර්තාවල සඳහන් ය.

2019 වසරේදී අගමැති ලෙස තේරී පත්වුණු බොරිස් ජොන්සන් ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග ලිස් ට්‍රස් අගමැතිනිය ලෙස පත්විය.

නමුත් මාසයක පමණ කෙටි කාලයකින් පසු ඇයත් එම තනතුරෙන් ඉවත්වීමෙන් පසු රිශී සුනක්, අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කෙරිණි.

ඊයේ මහ මැතිවරණය පැවැත්වුනේ බ්‍රිතාන්‍යට අයත්, එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තය කේන්ද්‍ර කරගනිමින් ය.

ඡන්ද දායකයින් මිලියන 46ක් වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 40,000ක් පිහිටුවා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය‍.