අගෝස්තුවේ දක්ෂයින් අතරට යන, දුනිත් සහ හර්ෂිතා

දුනිත් වෙල්ලාලගේ සහ හර්ෂිතා සමරවික්‍රම අගෝස්තු මාසයේ ලොව දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන සඳහා නිර්දේශ වෙයි.

by Staff writer 05-09-2024 | 10:53 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ  දුනිත් වෙල්ලාලගේ, සහ හර්ෂිතා සමරවික්‍රම අගෝස්තු මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සම්මාන සඳහා  නිර්දේශ වී තිබේ.

පසුගිය මාසයේ ලොව දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සඳහා නිර්දේශිත නාම ලේඛනය, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කර ඇත.

දුනිත් වෙල්ලාලගේ, දක්ෂතම ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වී ඇත්තේ ඉන්දීය කණ්ඩායම සමග පැවැති එක් දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙනි.

ඔහු එක් දින තරගාවලියේ පළමු තරගයේදී නොදැවී ලකුණු 67ක් රැස් කළේ ය.

දෙරට අතර තුන් වැනි එක් දින තරගයේදී ලකුණු 27ට කඩුලු 5ක් දවා ගැනීමද, වෙල්ලාලගේ මෙම සම්මානය සඳහා නිරේද්ශ වීමට හේතු වූ බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිවේදනයේ සඳහන්.

වෙල්ලාගේ සමග මෙම සම්මානය සඳහා දකුණු අප්‍රිකාවේ කේෂව් මහරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව්හි ජේඩන් සීල්ස් නිර්දේශ වී තිබේ.

මේ අතර, පසුගිය මාසයේ ලොව දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය සඳහා නිර්දේශිත ක්‍රීඩිකාවන් අතරට ශ්‍රී ලංකාවේ හර්ෂිතා සමරවික්‍රම ඇතුළත්.

අයර්ලන්තය සමග පැවැති එක් දින සහ පන්දුවාර 20යි 20 තරගාවලියේදී ඇය ප්‍රදර්ශනය කළ දක්ෂතා ඊට හේතු වී තිබේ.

ඇය එම පන්දුවාර 20යි 20 තරගාවලියේදී අර්ධ ශතක දෙකක් රැස් කළා.

එක් දින තරගාවලියේදී ශතයක්ද ලබා ගැනීමට සමත් විය.

හර්ෂිතා සමග මෙම සම්මානයට නිර්දේශ වී ඇති අනෙක් ක්‍රීඩිකාවන් වන්නේ අයර්ලන්තයේ ඕලා ප්‍රෙන්ඩගාස්ට් සහ ගැබී ලුවිස්.