ත්‍රිත්වයින් වසර 10කට පසු බ්‍රැඩ්බි පලිහ දිනාගනී

මහනුවර ත්‍රිත්ව විදුහල වසර 10කට පසු රාජකීයන් පරදා බ්‍රැඩ්බි පලිහ දිනා ගනී..

by Staff writer 07-09-2024 | 9:43 PM

COLOMBO ( News 1st ) - මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වසර 10කට පසු කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහි බ්‍රැඩිබි පළිහ වාර්ෂික රග්බි තරගය අද ජය ගත්තේය.

ඔවුන් බ්‍රැඩ්බි පළිහ දිනා ගත් 40වැනි අවස්ථාව මෙය වේ.

කොළඹදී පැවති 78වැනි බ්‍රැඩ්බි පළිහ රග්බි තරගයේ පළමු අදියර ලකුණු 17ට 16ක් ලෙස ජය ගත්තේ ත්‍රිත්ව විද්‍යාලයයි.

මහනුවර පල්ලේකැලේ රග්බි ක්‍රීඩාංගණයේදී අද (07) පැවැති තරගයේ දෙවැනි අදියර නැරඹීම සඳහා විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් එක්ව සිටියහ.

පසුගිය වසරේ ශූරයින් වූ රාජකීය විද්‍යාලය මෙවර තරගයේ ලකුණු රැස් කිරීම ආරම්භ කළේ, පළමු අර්ධයේ දෙවැනි මිනිත්තුවේදීය.

ඒ උත්සාහක දිනුමක් සාර්ථක කර ගනිමිනි.

ඔවුන් පළමු අර්ධය ලකුණු 20ට 13ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

ඒ උත්සාහක දිනුම් 2ක්, ප්‍රවර්තන 2ක් සහ දඬුවම් පහර 2ක් සාර්ථක කර ගනිමින් ය.

ප්‍රතිවාදී ත්‍රිත්ව ක්‍රීඩකයින් උත්සාහක දිනුමක්, ප්‍රවර්තනයක් සහ දඬුවම් පහර 2ක් මගින් ලකුණු රැස් කළේ ය.

දෙවැනි අර්ධයේදී දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු රැස් කිරීම ආරම්භ කළේ, ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමයි.

ඔවුන් එහිදී දක්ෂ ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරමින් දඬුවම් පහර 4ක් සාර්ථක කර ගැනීමට සමත් විය.

රාජකීයන්ට එම අර්ධයේදී සාර්ථක කර ගැනීමට හැකි වූයේ එක් දඬුවම් පහරක් පමණි.

ඒ අනුව, ලකුණු 25ට 23ක් ලෙස දෙවැනි අදියර ද ත්‍රිත්ව ක්‍රීඩකයින් ජය ගත් අතර අදියර දෙක අවසානයේ සමස්ත ලකුණු සටහන දැක්වුණේ ලකුණු 42ට 39ක් ලෙසය.

ඒ අනුව 40වැනි වරටත් මහනුවර ත්‍රිත්ව ක්‍රීඩකයින් බ්‍රැඩ්බි පළිහට හිමිකම් කියන ලදී.