සංජීව මහානාමගේ ‍දේපො‍ළවලට අධිකරණයෙන් තහනමක්

හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාමට අයත් දේපො‍ළ රැසකට මහාධිකරණයෙන් තහනම් නියෝගයක්..

by Staff writer 18-09-2024 | 6:46 PM

COLOMBO (News 1st ) - අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාමට අයත් යැයි කියන රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝපභෝගි මෝටර් රථයක් ඇතුළු දේපොළ රැසක් මාස තුනක කාලයකට තහනම් කිරීමට කොළඹ මහාධිකරණය අද (18) නියෝග කරන ලදි.

ඒ , අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අයථා මුදල් හා දේපොළ උපයා ගැනීමේ විමර්ශන අංශය කළ ඉල්ලීමක් සලකා බලමින් ය. 

මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ගේ මාර්ගයෙන් අයථා ලෙස මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව එම ඉල්ලීම කර තිබේ.

ඒ අනුව සංජීව මහානාමට අයත් බව කියන අධි සුඛෝපභෝගි මෝටර් රථයක් ඇතුළු වාහන තුනක් හා ඉඩම් දෙකක් එලෙස තහනම් කෙරිණි. කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් දෙසැම්බර් 18 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි එම තහනම් නියෝගය නිකුත් කළේ ය.

අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම මහතා , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියේ ද සැකකරුවෙකි.