තැපැල් සේවකයින් දෙදෙනකෙුගේ වැඩ තහනම්..

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සම්බන්ධ රාජකාරි පැහැර හැරීම හේතුවෙන් තැපැල් සේවකයින් දෙදෙනකෙුගේ වැඩ තහනම්..

by Chathurika Jayasundara 20-09-2024 | 2:14 PM

COLOMBO (News1st) - තැපැල් දෙපාර්තමේන්තු සේවකයින් දෙදෙනකෙුගේ වැඩ තහනම් කර තිබේ.

ඒ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සම්බන්ධ රාජකාරි පැහැර හැරීම හේතුවෙනි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, එම සේවකයින් කළුතර සහ පුත්තලම තැපැල් කාර්යාලවලට අනියුක්තව සේවය කරන බවයි.

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 99 ක් බෙදා අවසන් කර තිබේ.

නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා එක්කෝටී හැට නව ලක්ෂ තිස් නව දහස් තුන්සිය අනු අටක්  බෙදා ඇති බවයි.

මේ අතර 2024 ජනාධිපතිවරණයට අදාළ මෙතෙක් නොලැබුණු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද(20) දිනයේත් තමන්ට ආසන්න තැපැල් කාර්යාලයෙන් ලබා ගැනීමට ඡන්ද දායකයින්ට පහසුකම් සලසා  ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ හෙට(21) දිනයේත් ඒ සඳහා අවස්ථාව පවතින බවයි.

සිය අන්‍යතාව තහවුරු කර පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ ඒවා ලබා ගත හැකියි.

කෙසේ වෙතත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොමැතිව වුවද හැඳුනුම්පත රැගෙන යාමෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව මහජතාවට දැනුම් දෙයි.