සමස්ත අවසන් ඡන්ද ප්‍රතිඵලය අද රාත්‍රියේ....

ජනාධිපතිවරණයේ සමස්ත අවසන් ඡන්ද ප්‍රතිඵලය අද රාත්‍රියේ....

by Staff writer 22-09-2024 | 7:07 PM

COLOMBO (News 1st) - ජනාධිපතිවරණයෙන් අවසන් ප්‍රතිඵලය අද (22) රාත්‍රියේ ප්‍රකාශයට පත් කරන බව, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, ජනාධිපතිවරණයට තරග වැදුණු කිසිඳු අපේක්ෂකයෙකු සියයට 50 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගත් හෙයින් දෙවැනි මනාපය ගණන් කිරීම ආරම්භ කර ඇති බවයි.

ජනාධිපතිවරණයේ සමස්ත ප්‍රතිඵලය, ජාතික මැතිවරණ කොමිෂන් සභාව අද (21) පස්වරුවේ නිවේදනය කළේ ය.

ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා ඡන්ද පනස් හය ලක්ෂ තිස් හතර දහස් නවසිය පහළොවක් ලබා ගෙන ඇත.

එය  42.31%  ක ප්‍රතිශතයක්.

සජිත් ප්‍රේමදාස මහතා  32.76 %ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට සමත් විය.

ඒ, ඡන්ද හතලිස් තුන් ලක්ෂ හැටතුන්දහස් තිස්තුනක්  දිනා ගනිමිනි.

රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවූ ඡන්ද සංඛ්‍යාව, විසිදෙලක්ෂ අනූ නවදහස් හත්සිය හැට හතක් ලබා ගනිමිනි.

ඔහු 17.27 %ක ප්‍රතිශතයක් හිමිකර ගත්තේ ය.

2.57 % ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් නාමල් රාජපක්ෂ මහතා, ඡන්ද තුන් ලක්ෂ හතලිස් දෙදහස් හත්සිය අසූ එකක්  දිනා ගැනීමට සමත් විය.

පී. අරියනේත්‍රන් මහතා, ලබා ගත් ඡන්ද සංඛ්‍යාව, දෙලක්ෂ විසි හය දහස් තුන්සිය හතලිස් තුනක්.

ඔහු 1.7%  ක ප්‍රතිශතයක් හිමිකර  ගැනීමට සමත් විය.

0.9% ක ප්‍රතිශතයක් හිමි කර ගත්, දිලිත් ජයවීර මහතා ඡන්ද එක් ලක්ෂ විසි දෙදහස් තුන්සිය අනූ හයක් දිනා ගැනීමට සමත් විය.

කේ. කේ පියදාස මහතාට හිමි වූ ඡන්ද සංඛ්‍යාව, 47 543 ක්.

ඩී. එම් බණ්ඩාරනායක මහතා ඡන්ද 30 660 ක් ලබා ගත්තේ ය.

සරත් ෆොන්සේකා මහතාට හිමිවූ ඡන්ද සංඛ්‍යාව, 20 407 යි.

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා, ඡන්ද 21 306 ක් දිනා ගැනීමට සමත් විය.

අනුරුද්ධ පොල්ගම්පොළ මහතාට හිමිවූ ඡන්ද සංඛ්‍යාව, 15 411 ක්.

සරත් කීර්තිරත්න මහතා ඡන්ද 15 187 ක් දිනාගත්තේ ය.