ශිෂ්‍යත්ව අවුල විමර්ශනයට ස්වාධීන විශේෂඥ කමිටුවක්..

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර අවුල විමර්ශනයට ස්වාධීන විශේෂඥ කමිටුවක්...

by Staff writer 28-09-2024 | 3:48 PM

COLOMBO (News1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනයට, විශේෂඥයින් 7 දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන පරීක්ෂණ කමිටුවක් අද(28) පත් කෙරිණි.

අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සඳහන් කළේ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ උපදෙස් මත එම කමිටුව පත් කළ බවයි.

ඊට, විදේශීය අත්දැකීම් ලත් විශේෂඥයින් කිහිපදෙනෙකු ද ඇතුළත් වේ.

එම කමිටුව, දින දෙකක් ඇතුළත අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කර, ළමුන්ට අසාධාරණයක් නොවන පරිදි ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියට නිර්දේශ ඉදිරිපත් කරනු ඇත.

තිලකා ජයසුන්දර මහත්මිය සඳහන් කළේ, ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවල මූලික වාර්තාවක් ද අමාත්‍යංශයට ලැබී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව මගින් ද, විමර්ශනයක් ක්‍රියාත්මකයි.

පළමු ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරියෙකු සහ උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

මෙහිදි ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් තවත් ගුරුවරුන් කිහිපදෙනෙකුගෙන් ම ප්‍රකාශ ලබාගත් බව, ලේකම්වරිය සදහන් කළේ ය.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරිය සදහන් කළේ ශිෂ්‍යත්වයට මුහුණදුන් දරුවන්ට අසාධාරණයක් නොවන පරිදි, ප්‍රශ්න පත්‍ර ගැටලුව කඩිනමින් විසඳන බවයි.