කොදෙව්වන්ට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

කොදෙව්වන්ට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

by Staff writer 17-10-2024 | 10:36 PM

COLOMBO (News 1st) - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සත්කාකර ශ්‍රී ලංකාව තරග 2ට 1ක් ලෙස අද (17) ජය ගත්තේ ය.

ඒ, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැති තුන් වැනි තරගය කඩුලු 9කින් ජය ගනිමිනි.

තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් ඉනිම ආරම්භ කළේ, එවින් ලුවිස් සහ බ්‍රැන්ඩන් කිංග්.

මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ එවින් ලුවිස් ලකුණු නොලබා දැවී ගියේ ය.

බ්‍රැන්ඩන් කිංග් ලකුණු 23යි.

රොස්ටන් චේස් ලකුණු 8කට දැවී ගියේ ය.

ශේ හෝප් ලකුණු 18යි.

කොදෙව් කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 5 ලකුණු 62කදී බිඳ වැටිණි.

අනතුරුව පිටියේ ස්ථාවර වූ ගුඩකේෂ් මෝටි සහ නායක රෝමන් පවෙල් 6 වැනි කඩුල්ලට ලකුණු 54ක සබඳතාවක් එක් කළේ ය.

මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග අතර කඩුලු 2 බැගින් බෙදී ගියහ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 162ක්.

ලකුණු 163 ක ඉලක්කයකින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ , පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්.

වේගවත් ආරම්භයක් ලබා ගත් පැතුම් නිස්සංක පන්දු 22කින් ලකුණු 39ක් රැස් කළේ ය.

4 පහර 7කින් සහ 6 පහරකින් එම ඉනිම වර්ණවත් විය.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 60යි.

කුසල් මෙන්ඩිස් පන්දු 37කින් ලකුණු 50 සීමාව පසු කළේ ය.