ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්...

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ජාවක්..

by Staff writer 23-12-2024 | 10:20 PM

COLOMBO (News 1st) - මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිත  ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය ඇගයීම සඳහා සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡාවක් අද (23) පැවැත්විය.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

ජනාධිපති කාර්යාලයේදී පැවති එම සාකච්ඡාවට අමාත්‍ය මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරු, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සහ මූල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීන් එක්ව සිටියේ ය.

අමාත්‍යාංශ, නියාමන ආයතන, නීතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිත ආයතන ඇතුළුව, පාර්ශ්වකාර ආයතන 24ක් සඳහා සම්පාදනය කර ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලත් ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කඩිනම් අවශ්‍යතාව එහිදී මූල්‍ය බුද්ධි ඒකකය විසින් අවධාරණය කළ බව, ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ ය.

මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය  සකස් කළ නිර්දේශය ක්‍රියාත්මක කිරීම සඳහා නීතිමය ප්‍රතිසංස්කරණ, ධාරිතා ගොඩනැගීම, වැඩිදියුණු කළ අන්තර් නියෝජිතායතන  සහයෝගීතාව සහ විස්තීරණ සංඛ්‍යා ලේඛන පවත්වා ගෙන යාම සඳහා එම ක්‍රියාකාරී සැලසුම තුළ ප්‍රමුඛතාව ලබා දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මෙම සැලසුම් සමග පූර්ණ අනුකූලතාව සහතික කිරීම සඳහා කැපවූ කණ්ඩායම් පත් කරන ලෙස, එහිදී ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මූල්‍ය බුද්ධි ඒකකය, අමාත්‍යවරුන්, ලේකම්වරුන් හා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ, එහි ප්‍රගතිය සමීපව නිරීක්ෂණය කරන ලෙසයි.

ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධති ස්ථාවරත්වය සුරක්ෂිත කරමින් සහ රටේ ආර්ථිකය පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය රැක ගැනීමටත් ඒ හරහා  හිතකර ඇගයීම් ප්‍රතිඵලයක් අත්කර ගැනීමටත් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ ශක්තිමත් සහ සඵලදායී රාමුවක් අත්‍යවශ්‍ය බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.